ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (14දා) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්රනාබ් මුඛර්ජී, විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉන්දීය නායකයන් සමග වික්‍රමසිංහ මහතා මෙහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් කලාපීය සාමය හා සංහිඳියාව තහවුරු කරලීම පිළිබඳවද මේ සංචාරයේදී අවධානය යොමුකිරීමට දෙරටේ නායකයෝ අපේක්ෂා කරති.
අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා සහභාගි වන මුල්ම නිල විදේශ සංචාරය මෙය වන අතර, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද ඊට එක්වීමට නියමිතය.
විදේශ අමාත්‍ය මංගල සමරවීම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමල් අතාවුදහෙට්ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් යන මහත්වරුන් මේ සංචාරයට සහභාගි වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.