ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා පවත්වා ඇති බවත් පසුගිය ජානපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට සමත්වූ එක්සත් ජාතික පක්ෂයට වෙනත් කිසිවෙක් අභියෝගයක් නොවන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
"තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද...."
"එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ එකමුතු වෙලා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් ඇති කරනවා. එහිදී අපි නිවැරදි වේලාවට නිවැරදි පුද්ගලයෙක් ඉදිරිපත් කරනවා.
ඒ පුද්ගලයා කවුරු වුණත්, අඬ අඬා ඉන්න කෙනෙක් නෙමෙයි, රට දියුණු කරන්න. දිනන්න පුළුවන් පුද්ගලයෙක්. යම් අය වැරදි ප්‍රකාශ කරනවා. ඒවා අද්භූත ප්‍රකාශ පමණයි.
එක්සත් ජාතික පක්ෂයේ එකමුතු භාවය, සහෝදරත්වය නැතිකරන්න හදන අයට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. අපි අභියෝග වලට බය නැහැ. මහින්ද රාජපක්ෂ සමග තරගකරලා දිනන්න පුළුවන්වුණ අපට අනෙක් අය කිසිදු අභියෝගයක් නොවෙයි.
අපි යම් වෙනසක් ඇති කළා. අපි හිතන තරම් සාර්ථක නොවූ නමුත්, එක්තරා දුරකට සාර්ථක වෙලා තිබෙනවා. වළලා දමා තිබු ප්රජාතන්ත්රවාදය දන් යළිත් ලැබිලා තිබෙනවා.
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලක් වෙත ගෙනියන්න හදන එක සමහරක් අයට ලොකු ගැටළුවක් වෙලා. නමුත් මේ අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ අමාත්‍යාංශයක් තිබිය යුතු ස්ථානයක නෙමෙයි. වෙනත් ආයතන ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා දේවල් කරද්දි ඒ ගැන කවුරුත් වැරදි දකින්නේ නැහැ. නමුත්, විශාල සේවක පිරිසක් වැඩ කරන්න ඉඩකඩ නොමැතිව ගැටලු වලට මුහුණ දෙද්දි, මුදල් අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබියදීත්, මේ අමාත්‍යාංශය වෙනත් තැනකට ගෙනයන එක ඇයි මේ තරම් ගැටලුවක් කරගන්නේ.
අනිත් කාරණය තමයි අපි අමාත්‍යාංශය අළුතින් ගෙනයන ගොඩනැගිල්ලට සුනිත්‍ය බලශක්ති අධිකාරියත් ගෙනයනවා. එම කාර්යාලය දැනට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වාගෙන යන්නේ කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවමින්. අපි දැන් මේ යන්න හදන්නේ ඒ ගෙවන මුදලට භාගයකටත් වඩා අඩු කුලියක් ඇති තැනකට.
සමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද. ඒ වගේ දේවල් ගැන කැක්කුමක් නැද්ද. අපි කරන්නේ ප්‍රාග්ධන වියදම්. ඒ වගේ පුනරාවර්ථන වියදම් නොවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඒ ප්‍රමාණය ඉදිරියේදී අපට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන් අප සමග එකතු වෙන්නේ සුබවාදි ගමනක් සදහායි. අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්.”