ඝන පූර්ණය නොමැතිවීමෙන් අද (19දා) පාර්ලිමේන්තුවේ පැවැති කල්තැබීමේ විවාදය නියමිත වේලාවට වඩා විනාඩි 45කට පමණ පෙර අවසන් කිරීමට සිදුවිය.
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට සිටිය යුතු මන්ත්‍රී සංඛ්‍යාව වන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා මූලාසනයට දැනුම් දුන්නේය. ඒ අනුව පස්වරු 6.43ට පමණ කෝරම් නාද කිරීමට මූලාසනය අණ කළේය.
මිනිත්තු 05ක කාලයක් කෝරම් නාද කිරීමෙන් පසුවද පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන් සිටියේ 09 දෙනෙකු පමණි. ඒ අනුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නොසිටි බැවින් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහැකි වීමෙන් සභාව අවසන් කෙරිණි.
පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති බව සඳහන් කරන අවස්ථවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා විවාදයේ කතා කරමින් සිටි අතර, හේෂා විතානගේ මන්ත්‍රීවරයා මූලාසනයේ සිටියේය.
අද (19දා) දහවල් 12.00ට පමණද මෙලෙස ඝන පූර්ණය නොමැති බව දක්වමින් කෝරම් නාද කිරීම සිදු වූ අතර, එහිදී ඝන පූර්ණය පෙන්වීමට හැකි විය.
2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ පුවත පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පැවැත්විණි.
