ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මගින් ලබාදෙන ණය මුදල මගින් මෙරට සියලු ප්‍රශ්න නිරාකරණය කරගත නොහැකි බවත් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සම්පුර්ණ විදේශ ණය ඩොලර් බිලියන 55න් සෘජුවම ඩොලර් බිලියන 39ක් ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා හැකි ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහ ගතකළ යුතු බව ඒ මහතා රජයට අවධාරණය කරයි.
"ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය අනුවේදනීය සිදුවීමක් වාර්තා කළා ලෙබනනයේ බීරූඩ් නගරයේ. පුද්ගලයෙක් ගිහිල්ලා බැංකුවකට ඇතුල් වෙලා ආයුධ සන්නද්ධව ඔහුගේ බැංකුවේ තැන්පත් කරලා තිබිච්ච ඒ මුදල් ඉල්ලා හිටියා. ඔහුගේම ඥාතීන්ගේ රෝහල් බිල් ගෙවීම සඳහා. ලෙබනනය දෙදාස් විස්සෙදි බංකොලොත් වුණා. අද ඒ බැංකු පද්ධතියට නොහැකි වෙලා තිබෙනවා තමන්ගේ තැන්පත්කරුවන්ට මුදල් ලබාදෙන්න. ලංකාව දෙදාස් විසිදෙකේ අප්‍රේල් දොළොස් වෙනිදා බංකොලොත්භාවය ප්‍රකාශ කළා. අපේ රටෙත් මේ තත්වය අනාගතයේ ඇති නොවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.
ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේදී එතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය ඒ වගේම ආර්ථික න්‍යාය පත්‍රය පිළිබඳ යම් අදහස් වලියක් ඉදිරිපත් කළා. ඒ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති වෙනවද ඒක ඇති වෙන්නේ කොයි දිසාවටද කියන එක ගැන ඒ පලකල අදහස් ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. ඒ ගැන සලකා බලලා ක්‍රියා කරන්න. හැබැයි ආර්ථික න්‍යාය පත්‍රය අපිට පැහැදිලි වුණේ නෑ. මේ රටේ බොහෝ දෙනෙකුට මේ අරගලයේ ඉන්න පිරිසත් අහපු දේ තමයි මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙන වග දැන දැනත් ඇයි හිටියේ කියන කාරණය.
මේ ගැන අපි අනතුරු ඇඟෙව්වා. දෙදාස් දාහතරේදී මං කෘතියක් කළා. ආලපාලු ආර්ථිකය කියලා. ඒ අවස්ථාවේදී අරගෙන තිබිච්ච අධික පොලියට අරගෙන තිබිච්ච අන්තර්ජාතික බැඳුම්කර ඒවා මඟින් කරපු මෙගා ව්‍යාපෘති විසින් රට ඉතාමත්ම බරපතල ණය අර්බුදයකට ලක් වෙනවාය කියන එක පිළිබඳ අනතුරු ඇඟවීම් මම කළා. ඒ වගේම යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වුණා. ඒ සාකච්ඡාවෙත් මේ පිළිබඳව මේ ණය කළමනාකරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් මං ඉදිරිපත් කළා.
ඒ කැබිනට් පත්‍රිකාව මේ සියලු දෙනාගේම දැනගැනීම පිණිස කියන මාතෘකාව යටතේ මම හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. ඒක ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේදී දෙදහස් දාසයේ ඔක්තෝබර් හත්වෙනිදා මෙවැනි තත්වයක් මේ රටේ ඇතිවෙන බව ප්‍රකාශ කරමින් මේක පාලනය කිරීම සඳහා මේ පියවර ගන්නෙයි කියලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සමහර කැබිනට් සාමාජිකයෝ මෙතන ඉන්නවා. ඒ වගේම ඉන් වසරකට පසු අද ජනාධිපතිතුමා එදා ආර්ථික සංවර්ධන ඇමතිතුමා හැටියට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට පිළිතුරු වශයෙන් මේ ණය කළමනාකරණය කිරීම සඳහා උපාය මාර්ගයක් සකස් කිරීම වෙනුවෙන් මම තවත් කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ කැබිනට් පත්‍රිකාවත් මම මේ අවස්ථාවේදී සභාගත කරනවා හැන්සාඩ් ගත කිරීම සඳහා.
මේ අනතුර අපි දැක්කා මීට වසර ගණනාවකට පෙර දශකයකට ආසන්න කාලයක තිස්සේ මේ අනතුර අපි දැක්කා. අද මේ රටේ බොහෝ හිතන දෙයක් තමයි අන්තර්ජාතික මුල්‍ය අරමුදලට අපි යනවා. අන්තර්ජාතික මුල්‍ය අරමුදලට ගියාම අපේ ණය අන්තර්ජාතික මුල්‍ය අරමුදල ගෙවනවා කියලා. එහෙම දෙයක් නෑ. අපිට අද තියෙනවා ඩොලර් බිලියන පනහකට අධික ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය ඒකෙන් සෘජුවම ඩොලර් බිලියන තිස් නමයක් ලංකා ආණ්ඩුව හා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙවිය යුතු ණය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලින් වැඩිම උනොත් අවුරුදු තුනක් ඇතුළත අපට බිලියන තුනක විතර මුදලක් ලැබෙන්නේ.
ඒ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන විවිධ රටවල ආධාරය, ඒ තත්වය අපිට එන්නේ අපි අපේ ණය ප්‍රතිව්‍යුහගත කළොත් විතරයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදේශ ණය තියෙනවා. දේශීය ණය තිබෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටලුව අද ඇවිල්ලා තියෙනවා. ඒ මොකද චීනය ප්‍රතිපත්තියක් හැටියට තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඉඩ දෙන්නේ නෑ.
නමුත් අපිට පුංචි ආලෝකයක් ලැබුණා සැම්බියාවෙන් ඒ අවස්ථාවේදී චීනය මැදිහත් වෙලා ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කටයුතු කිරීමට යම් මාර්ගයක් පාදා ගැනීම ගැන. රජය වහාම ඒ සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. හැබැයි මතක තබා ගත යුතුයි මේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුව ගත්තොත් නම්, දළ නිෂ්පාදනයෙන් සීයට පහලවක ප්‍රමාණයට අපගේ දළ රාජ්‍ය මුල්‍ය පහසුකම, එහෙම නැත්නම් අපගේ එක දෙදහස් විසිදෙකේ අපි සකස් කරගත යුතුයි.
අද කීයද? අද සියයට තිහ පන්නලා තියෙන්නේ. මේ සියයට තිහ පන්නලා තිබෙන, අපේ දළ රාජ්‍ය මුල්‍ය අවශ්‍යතාවය මේ වසරේ ඉදිරිපත් කරපු අයවැයට අනුකූලව, සියයට පහළොව දක්වා ගේන්නේ කොහොමද? කොහෙන්ද අපි කපන්නේ? මේ අත් හිටවපු ණය ගෙවීම මගින් සීයට හතයි අපට ලබාගන්න පුළුවන්. ප්‍රාග්ධන වියදම් සියල්ලම නැවැත්තුවත් සියයට හතරයි ගන්න පුළුවන්. එහෙනම් ඉතිරි ටික කරන්න නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න.
ජනාධිපතිතුමා අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අදහසක් නෑ කියලා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කර යුතුමයි. ඒ කියන්නේ මොනවද? භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව විසින් රජය ලබා ගත් ණය. ලංකා බැංකුවේ මහජන බැංකුවේ වත්කම් වලින් සීයට පනස් හතක් ආණ්ඩුවට ලබා දීලා තියෙනවා. ඒ ඉන්න කෝටි ගණන් ජනතාවගේ තැන්පත්කරුවන්ගේ සල්ලි ඉතාම විනාශකාරී විදිහට ආයෝජනය කරලා තියෙන්නේ.
අද මේවා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඊපීඑෆ්, ඊටීඑෆ් වල ආයෝජනය කරලා ඉන්න අසූ ලක්ෂයක් ගිණුම්වලට මේකෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මේ ප්‍රතිව්‍යුහගත කරලා නැත්නම්, ඒක කරගන්න අමාරු නම්, අයි. එම්. එෆ්. එක නෑ. අයි. එම්. එෆ්. එකට ඒ ක්‍රියාවලිය නැත්නම්, මේ කිසිම රටක් අපේ මේ බ්රිඩ් ෆයිනෑන්සින් වලට ඉදිරිපත් වෙන්නෑ. එහෙනම් මොකක්ද අපි කළ යුත්තේ? ඒකයි මම කියන්නේ මේ සම්ප්‍රධායික ආර්ථිකයෙන් ඔබ්බට ගිහිල්ලා මුල්‍ය අරමුදලේ නොවන මාවතක් තියෙනවද කියලා බලන්න. අපි දැන් සූදානම් විය යුතුයි. එසේ නොවෙනවා නම්, මේ ඉදිරි අවුරුදු දෙක අතිශය කණගාටුදායක තත්වයකට පත්විය යුතුයි. ආර්ථිකය අපි හිතනවට වඩා ඉතා භයානක විදිහට ඇද වැටෙනවා.
මම ඔබට කියන්නම්. ඩීසල් පරිභෝජනය ගත් කල ගිය මාර්තු මාසේ දෙදාස් හාරසිය අනූ හයක් දවසකට ඩීසල් පරිභෝජනය කරලා තියෙනවා. ජූලි මාසයේදී ඒක දෙදාස් දෙසිය අනූ නමයයි. තුනෙන් දෙකකින් ඩීසල් පරිභෝජනය අඩුවෙලා තියෙනවා. ආර්ථිකයත් තුනෙන් දෙහෙකින් සංකෝචනය වෙන්න නියමිතයි. ජීවන ඉල්ලුම, විදුලි කප්පාදුව නතර කරලා තියෙන්නේ හපන්කමක් හින්දා නෙමෙයි. විදුලි ඉල්ලුම සීයට පහකින් අඩු වෙලා තියෙනවා. ඒ නිසයි අද විදුලි කප්පාදුව නතර වෙලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. ඒක නිසා ආර්ථිකය ඉතා සීග්‍රයෙන් කඩා වැටීගෙන යනවා. ඒ බව අපි වටහාගෙන, තේරුම් අරගෙන, අපි විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් මුල්‍ය අරමුදලට යනවා. අපට මෙයින් ගැලවෙන්න බැරි බව අවධාරණය කරනවා."
