භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීමේ ඉළක්ක කර ගනිමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කරයි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අමාත්‍යවරයා GSMB ආයතනය මගින් කළුගල්, වැලි, පස් හා බොරළු සම්බන්ධව බලපත් නිකුත් කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ භූ ගර්භයේ ඇති ඉතා වටිනා ඛනිජ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ වැඩ සටහනක් ආරම්භ කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ තිබෙන බර ඛනිජ ගවේෂණයේ සොයා ගැනීම් මත පදනම්ව සිදු කරන ලද ගවේෂණ අනුව මෙම ආදායම ඉපයීමට හැකි බව GSMB ආයතනයේ සභාපති අනුර වල්පොල හා එහි අධ්යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහත්වරුන් විසින් එම රැස්වීමේ දී ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාපෘතියට අදාලව මේ වනවිට අප රටේ වටිනා භූ සම්පත් ගවේෂණ කටයුතු පුළුල් කර තිබේ. ඒ අනුව සේරුවිල රත්තරන් නිධිය ගවේෂණය කිරීම හා ඒ ආශ්‍රිතව ඇතැයි සැළකෙන තඹ හා ප්ලැටිනම් වැනි ඉහළ වටිනාකමක් සහිත ඛනිජ සම්පත් ගවේෂණ කටයුතු පුළුල් කිරීම, කොටිගම්බොක්ක ධමනී තිරුවාණා හෙවත් VAIN QUARTZ පාෂාණය මගින් අගය එකතු කළ නිෂ්පාදන ආරම්භ කිරීම, මෙන්ම කල්තොට කැල්සයිට් ආශ්රිත නිෂ්පාදන ආරම්භ කිරීමේ වැඩ පිළිවෙල ද කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
මේ සඳහා ඵලදායී පතල් කැණීම සහ ඛනිජ සම්පත් විද්‍යාත්මක උපයෝග කරගනිමින් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් මත එම කටයුතු ආරම්භ කරන බවත් එමගින් රජයට ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් උපයා දීමට සැලසුම් කරන බව ද එම නිලධාරිහු අවධාරණය කළහ.