එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රකාශයට පත් කරනලද නව වාර්තාවකට අනුව, නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය 2019 නොවැම්බර් මස අගදී ඉතාලියේ පැවති බවට සාක්ෂි අනාවරණය වෙයි.
මිලාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ නායකත්වයෙන් යුතු මෙම අධ්‍යයනයේදී 2019 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ රෝගීන් 39 දෙනෙකුගෙන් එකතු කරනලද උගුර ආශ්රිත ඛේට සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී එක් කොවිඩ්-19 ධනාත්මක සිද්ධියක් අනාවරණය වී තිබේ.
ඒ අනුව පර්යේෂකයන් මෙම සාම්පලය දෙසැම්බරයේ මුලදී මිලාන් අවට ප්‍රදේශයේ ජීවත් වූ සහ වාර්තා වූ සංචාරක ඉතිහාසයක් නොමැති සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගෙන් ලබාගත් එකක් ලෙස හඳුනා ගෙන ඇත.
පිරිමි ළමයා මුලින්ම කැස්ස සහ නාසයේ ශ්ලේෂ්මල පටලයේ දැවිල්ලක් සමග නොවැම්බර් 21 වැනි දින රෝහල්ගත කර ඇති අතර, පසුව ශ්වසන රෝග ලක්ෂණ සහ වමනය සමග හදිසි ප්‍රතිකාර අංශයට යොමුකර තිබේ. පසුව ඔහුට දෙසැම්බර් මස මුලදී සරම්ප වැනි රෝග ලක්ෂණද මතුව ඇති අතර, පසුව සැක සහිත සරම්ප සායනික රෝග විනිශ්චය සඳහාද ඔහුව විමර්ශනය කර ඇත.
“ඉතාලියේ පළමු වැනි වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදන සිද්ධියට මාස තුනකට පමණ පෙර, ඉතාලියේ රෝගියෙකු තුළ SARS-CoV-2 RNA පිළිබඳ පැරණිතම සාක්ෂි විස්තර අප ලබාගෙන තිබෙනවා" යනුවෙන් මෙම අධ්‍යයනයේ කතුවරුන් සඳහන් කරයි. "මේ සොයාගැනීම් යුරෝපයේ මුල් කාලීන කොවිඩ්-19 ව්‍යාප්තියේ වෙනත් සාක්ෂි සමග ඒකාබද්ධව, වෛරසය පැතිර යාමේ ආරම්භය 2019 සරත් සමයේ අග දක්වා ඉදිරියට ගෙන යනවා."
නව සොයාගැනීම් කොරෝනා වෛරසයේ සම්ප්‍රේෂණ මාර්ගවල කාල සීමාවන් සහ සිතියම්ගත කිරීම පිළිබඳ දැනුම පුළුල් කරන බව පර්යේෂකයෝ පැවසූහ. එසේම කොවිඩ්-19 වෛරසයේ ආරම්භය සිතුවාට වඩා කලින් ඉතාලිය තුළ පැවති බවට පර්යේෂකයන් සාක්ෂි සොයාගත් පළමු වැනි අවස්ථාවද මෙය නොවේ.