විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක
මෙවර අයවැයේ ආර්ථික උපාය මාර්ග අපේ රට ඉදිරියට ගෙන යාමට කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අයවැයෙන් පෙන්නුම් කර තිබෙන්නේ නව රජයේ ආර්ථික උපාය මාර්ග. ඒවා කිසිසේත්ම අලුත් උපාය මාර්ගයන් නොවේ. අපේ රටේ ඉඩම් වෙළෙඳපොළ, මූල්‍ය වෙළඳපොළ, පෞද්ගලික අංශ වෙත පැවරීම, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීමට උත්සාහ කිරීම, රාජ්‍ය සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ආදී යෝජනා වලින් පෙන්නුම් කරන්නේ අපේ රට නිසි ආර්ථික උපාය මාර්ගයකට යොමු කිරීමට වර්තමාන රජය අසමත් බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
මෙය හිඟන්නාට පවුඩර් දැම්මා වැනි අයවැයක්. මේ අයවැය තනිකරම පුස් බංකොළොත් අයවැයක්. මේ අයවැයෙන් ජනතාවට ලැබුණු සහනයක් නැහැ. වී, රබර්, තේ ගොවියාට දෙන බවට කියූ සහන කිසිවක් අයවැය ලේඛනයට ඇතුළත් කර නැහැ. ඒ වගේම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ කියවූ දිගම අයවැය මේ අයවැය වෙන්නත් පුළුවන්.
නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සහිත ශක්තිමත් යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත් . රජයේ මර්මස්ථාන පෞද්ගලීකරණය කිරීමේ කිසිදු අදහසක් රජයට නැහැ. ඌණ උපයෝගිතා සහිත ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන
2016 ට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය දීර්ඝ කතාවක් මිසක් ඵලදායී තත්ත්වයක් පෙන්නුම් නොකරන බව ඒ අයගේම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමෙන්ම පැහැදිලි වුණා.
රජයේ සංස්ථා රාශියක් පෞද්ගලීකරණයට පරිවර්තනය වීමත්, ඒ තුළින් විශාල සේවක ප්‍රමාණයක් රැකියාවලින් ඉවත් වීමේ තත්වයක් ඇතිවනවා සේම රටේ ආර්ථිකය බරපතළ ලෙස අවුලකට පත්වෙනවා.
මෙතෙක් කල් විදේශ සමාගම් අතට පත් නොවුණු ආර්ථිකයේ කේන්ද්‍රස්ථාන රාශියක් ඒ අදාළ නීතිරීති අවලංගු කිරීමෙන් විදේශ සමාගම් අතට පත්කිරීම නිසා දැනට ශ්‍රී ලංකාවේ අදායම බවට පත්වී තිබෙන ආර්ථික මුලාශ්‍ර රටෙන් ධනය පිටරටට ගමන් කිරීමේ තත්ත්වයට පත්වෙනවා.
යහපාලනය නමින් සාමාන්‍ය ජනයාට සහන ලබාදීමට හැකිවෙන්නේ නැහැ. ජීවන වියදම් ප්‍රශ්නයට අනිවාර්යයෙන් මේ අයවැය දායක වෙනවා.
අයවැය පවත්වාගෙන යාම සඳහා මුදල් නෝට්ටු අච්චුගැසීම වැඩිකිරීමට ඉල්ලා තිබෙන අවසරයම මේ අයවැය පිළිබඳව හෙළිදරව් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර
මේ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ගයට උවමනා කරන පියවරක් හැටියට අධ්‍යාපනයට වැඩිපුර ගානක් ගෙවලා තිබුණත්, අනිකුත් සියල්ලම මේ රටේ ජනතාවගේ අහිමිවීම් සිදුවෙලා තියෙන්නේ. රටේ සියල්ල පුද්ගලික අයිතියට යනවා. රටේ පොදුජනයාට මේ අයවැය විශාල අහිමි කිරීමක් විදිහටත් මේ හිමිකම් කොම්පැණි වෙත පාවාදුන් අයවැයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. ආහාර වර්ගවල මිල අඩුකරලා ඒකෙන් මුවා වෙන්න හදනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල
අපිට තේරුම්ගන්න බැහැ මොකද්ද මේ කියන්නෙ කියලා. සමහර විට ඒ අපේ ප්‍රශ්නයක්ද නැත්නම් ඒ පැත්තේ ප්‍රශ්නයක්ද කියලා අපි දන්නෙ නැහැ. මේක පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඕන. අපි අයවැයක් ඉදිරිපත් කරපුවාම ඒකෙ ලොකු උනන්දුවක් තියෙනවා ආණ්ඩුපක්ෂයේ විපක්ෂයේ හැමෝටම. නමුත් ඒ උනන්දුව අද කාටවත් නැහැ. මේ අයවැය අවුරුදු හයටමද කියලා මම තාම හරියට දන්නෙ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා
රජය බටහිර අධිරාජ්‍යවාදීන්ට ණය පියවන්න යනවා කියලයි මේ අයවැය ගැන මට හිතෙන්නේ. ගමේ ඉන්න ගොවියා විනාශකරන දේශීය ආර්ථිකය මරණ අයවැයක් මේක. මේකෙන් කිසිම සහනයක් ලැබෙයි කියලා මම හිතන්නෙ නැහැ.
අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්
අයවැයෙන් අධ්‍යාපනයට සෞඛ්‍යයට වැඩිපුර මුදලක් වෙන්කර තිබෙනවා. ඒ වගේම නව නිපැයුම් දිරිගැන්වීම් සහ ඒ මත පදනම් වූ ශ්‍රී ලංකාවේ නව නිපැයුම් අපනයන මාර්ගය 10෴ කින් ඉහළනැංවීමට ඉදිරි වසර පහ තුළ අපට හැකිවෙනවා. ඒ නිසා මෙය සාර්ථක අයවැයක් කියලා හිතනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකින් සතුටු කරන්න තියෙන පහළ ගම්මට්ටමේ ජනතාව වෙනුවට උපාය මාර්ගිකවම සමස්තය විවෘත කිරීමේ දිශාවට තමයි මේ අයවැයින් ගමන් කරන්නේ.
විශේෂයෙන්ම ඉඩම්වල අයිතිය, අරමුදල්, බැංකු ක්ෂේත්රය විදේශ ආයෝජන වලට විවෘත කිරීම, විශේෂයෙන්ම ප්‍රාග්ධන වෙළෙඳපොළ විවෘත කිරීමට අදාළ යම්යම් සීමාවන් තිබුණානම් ඒ සීමාවන් සියල්ල බිඳගෙන ගිහින් තියෙන්නේ.
මේ තුළින් රටේ ආර්ථිකය ආරක්ෂා වෙන්නේ කොහොමද? දේශිය ගොවියාට තිබුණු ආරක්ෂාව නැතිවෙනවා. ඒ සියල්ල කලින් ආණ්ඩුවටත් වඩා විදේශීයයන්ට විවෘත කරලා තියෙනවා මේ ආණ්ඩුවෙන්.
ඒ වගේම සහන සියල්ල මේකෙන් ඉවත් කරලා තියෙනවා.
අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා
රටේ ආර්ථික සමාජ දේශපාලන වෙනසකට මෙම අයවැය මුල්වෙන්න පුළුවන්. එක අතකට මෙය සහනදායී අයවැයක්. ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන අයවැයක්. ඒ නිසා අපි හිතනවා මේ අයවැය යෝජනාවලිය මේ බිමේ පැළ කරගන්න පුළුවන් උනොත් රටක් හැටියට අපිට බොහොම ඉදිරියට යන්න පුළුවන්.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන
අවුරුදු ගණනාවකින් පස්සෙ ඉදිරිපත්වුණ හොඳ අයවැයක් හැටියට මේ පිළිබඳව සතුටුවෙන්න පුළුවන්. දේශපාලනික අරමුණක් නොමැතිව රටේ සංවර්ධනය වෙනුවෙන් නිවැරදි අයවැයක් ඉදිරිපත්කර තිබෙනවා. ආරක්ෂක අංශයටත් හොඳ දායකත්වයක් මේ අයවැය තුළින් ලබාදීලා තියෙනවා. ඒ තුළින් රණවිරුවන් පිළිබඳව වැඩි වශයෙන් කටයුතුකරන්න අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්
ඉතාහාසයේ වෙන්වූ විශාලම මුදල මෙවර අයවැය මගින් වෙන්කර තිබීම සතුටට කරුණක්. මෙය ඉතාම හොඳ තත්ත්වයක්. ඉතාම හොඳින් කළමනාකරණය කරලා, කොමිස් ගහන්නේ නැතිව අක්රමිකතාවයන් සිදුවෙන්න නොදී අධ්‍යාපන ක්ෂේත්රය වැඩිදියුණු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
අයවැයෙන් සහන දෙන බවක් නම් පේන්නෙ නැහැ. පොහොර සහනාධාරෙට තට්ටු කරලා තියෙනවා. ළමයින්ගේ පාසල් නිලඇඳුමට තට්ටු කරලා තියෙනවා. ආරංචිය හැටියට පෙළපොතටත් තට්ටු කරන්න යනවා.
විදේශ ආයෝජනාවලට ගොඩක් සහන දෙනවා වගේ තව ගොඩක් දේවල් තියෙනවා. කියන විදිහේ හොඳකමද කොහෙද. අපිට එච්චර තේරෙන්නෙ නැහැ. නොතේරෙන අයවැයක්.
අමාත්‍ය පාඨලී චම්පික
අපිට නම් අයවැය හොඳටම තේරෙනවා. අයවැය යෝජනාවලියෙන් විශාල ප්‍රමාණයක ශක්තිමත් ආයෝජනයක්, අධ්‍යයනයක් නවෝත්පාදනයටත් යොමුවෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ මගින් ටික කාලයක් අමතකවෙලා තිබුණ නිෂ්පාදන ආර්ථිකයකට මගපෑදේවි කියලා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ
පරණ දේවල් ගැන කතා කරන්න තමන්ගේ වැරදි වහගන්නවා. ගොවියාගේ වී මිලට පහර වැදුණා. රජයේ විශ්‍රාම වැටුප නැහැ. පරණ ක්‍රමයට ආපහු යයි. කිසිම රහක් නෑ කියල තමයි මට හිතෙන්නේ.