රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරිමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා ආ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (28දා) පස්වරුවේ මුල්කිරිගල, තංගල්ල හා බෙලිඅත්ත ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවලට එක්වෙමිනි.
“ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සංශෝධනයෙනුයි ඒක වුණේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා.
අපි ඒක මුලදීම කිව්වා මේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුළත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකළා. පවුලක් අයින් කරන්න රටක ව්‍යවස්ථාව වෙනස්කරපු අවස්ථාවක් මේක.
රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඈත් කරන බව පෙන්වා ජනාධිපතිවරයාගේත් බලය අයින් කරලා. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. මැතිවරණ තියන්න බැහැ. ජනාධිපතිවරයා නිකම්ම නිකන් මිනිසෙක් බවට පත්කරලා.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේක කළේ. ඒකට ජනාධිපතිවරයා රැවටුණා. ඒක තුළින් ආණ්ඩුවටත් අද ප්‍රශ්නයක් ඔවුන්ට අවශ්‍යදේ කරන්න බැහැ. ආණ්ඩුවේ අන්තිම කාලේ මේ දැන් දඩි බිඩි ගාලා ව්‍යවස්ථාව වෙනස්කරන්න හදනවා.”
