17 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ අද (02දා) ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මාන උලෙළ මෙරට පැවැත්වෙන ප්‍රධානම ජනමාධ්‍ය සම්මාන උලෙළ වශයෙන්ද පිළිගැනෙයි.
ක්ෂේත්‍ර 14ක් සඳහා පැවැත්වෙන සම්මාන උලෙළට පුවත්පත් 11 ක් නියෝජනය කරමින් අයදුම්පත්‍ර 229ක් ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පුවත්පත් ආයනය නිවේදනය කරයි. 11 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් එම අයදුම්පත්‍ර විශ්ලේෂණය කර ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිතය.
පසුගිය වසරවලදී මෙන්ම මේ වසරේදීත් වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට හෝ ජනමාධ්‍යවේදිනියට හිමි සම්මානය ඉන්දියාවේ කේරළයේ මැස්කොම් ආයතනයේ මාස හයක පාඨමාලාවක් නොමිලයේ හැදෑරීමටත් අවස්ථාව සපයාදෙයි.
වසරේ ජනමාධ්‍යවේදියාට පිරිනැමෙන මර්වින් සිල්වා සම්මානය, වසරේ උණුසුම්ම පුවත, වසරේ ගවේෂණාත්මක ජනමාධ්‍යවේදියා, වසරේ පාරිසරික වාර්තාකරු, සමාජ ගැටලු වාර්තා කරණය පිළිබඳ සුබ්‍රමනියම් චෙට්ටියාර් සමාමානය, වසරේ තරුණ ජනමාධ්‍යවේදියාට පිරිනැමෙන ඩෙන්සිල් පීරිස් සම්මානය, (අවුරුදු 26ට අඩු) වසරේ ඡායාරූප මාධ්‍යවේදියා, වසරේ නිර්මාණාත්මක පුවත්පත, වසරේ ව්‍යාපාරික ජනමාධ්‍යවේදියා (සිංහල, ඉංග්‍රීසි, දෙමළ), වසරේ හොඳම විශේෂාංග වාර්තාකරුට පිරිනැමෙන උපාලි විජේවර්ධන සම්මානය (සිංහල, ඉංග්‍රීසි. දෙමළ) වසරේ කාටූන් ශිල්පියා, වසරේ හොඳම තීරු ලිපි රචකයාට හිමිවෙන බී.ඒ. සිරිවර්ධන සම්මානය (සිංහල, ඉංග්‍රීසි. දෙමළ), විශේෂ අවස්ථා යටතේ වාර්තා කිරීමට හිමි මහාචාර්ය කායිලසපති සම්මානය යන සම්මාන මෙවර සම්මාන උලෙළේදී ප්රදානය කිරීමට නියමිතය. 2015 වසරට අදාළව මෙම සම්මාන උලෙළ පැවැත්වෙයි.
ඉහත සඳහන් කළ සම්මාන 14ට අමතරව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් 05 දෙනෙකු සඳහා ජීවිතයේ එක්වරක් පිදෙන රන් සම්මාන පහක් පිරිනැමීමටද කර්තෘ සංසඳය කටයුතු කර තිබේ. එසේම මාධ්‍ය නිදහස සඳහා කළ කැපකිරීම වෙනුවෙන් පිදෙන සේපාල ගුණසේන සම්මානය හා සිය සගයන්ගේ හා මහජනතාවගේ ඇගයීමට ලක්වන පුවත්පත් කලාවේදියාට හිමි ඩී.ආර්. විජයවර්ධන සම්මානයද මෙදින පිරිනැමීමට නියමිතය.
ජීවිතේ එක් වරක් පිදෙන රන් සම්මානය ලබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්
නෙවිල් ද සිල්වා - ලේක් හවුස් ආයතනයෙන් සිය පුවත්පත් දිවිය ආරම්භ කළ නෙවිල් ද සිල්වා මහතා එහි විදෙස් පුවත් කතුවරයෙකු හා වැඩබලන කතු වරයෙකු ලෙසට කටයුතු කර තිබේ. හොංකොංහි ද ස්ටෑන්ඩර්ඩ් හා ලන්ඩන්හි ජෙමිනි පුවත් සේවයේද කටයුතු කර තිබෙන අතර නිව්යෝක් ටයිම්ස්, ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර්, ද ගාඩියන්, ඒෂියන් වෝල් ස්ට්‍රීට් ජර්නල්, ඒ.එෆ්.පී. යන පුවත්සේවා ඇතුළු විදේශීය පුවත්සේවා කිහිපයකම වාර්තාකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.
පියසේන ඉහළවිතාන - ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් සමාගමේ දවස පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ පියසේන ඉහළවිතාන මහතා එහි පුවත් කර්තෘ ලෙසින්ද කටයුතු කළේය. පසුව ලේක් හවුස් ආයතනයට එක්වූ ඒ මහතා දිවයින පුවත්පතේ පුවත් කර්තෘ ලෙසින්ද කටයුතු කළේය. පසුව ඉරුදින පුවත්පතට එක්වූ ඒ මහතා 2012 දක්වා එහි ප්‍රධාන උප සංස්කාරකවරයා ලෙස කටයුතු කළේය.
වී. තනබාලසිංහම් - වීරකේසරී පුවත්පතේ සෝදුපත් බලන්නෙකු ලෙසින් සිය මාධ්‍ය දිවිය ආරම්භ කළ වී. තනබාලසිංහම් මහතා එහි දශක දෙකක පමණ සේවය කරනු ලැබීය. පසුව තිකරන් පවුත්පත ආරම්භ කිරීමට කටයුතු කළ ඒ මහතා එහි කර්තෘ ලෙසින්ද සේවය කළේය.
සරත් මලලසේකර - ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හා ඩේලි නිවුස් පුවත්පතේ අධිකරණ වාර්තාකරුවෙකු ලෙස සරත් මලලසේකර මහතා කටයුතු කරනු ලැබීය. ඔහුගේ ලිපි සිංහලට පරිවර්තනය කර දිවයින හා සිළුමිණ පුවත්පත්හි පළ කරනු ලැබීය.
ප්‍රේමසිරි අබේසිංහ - සිය මාධ්‍ය දිවිය සියරට පුවත්පතින් ආරම්භ කළ ප්‍රේමසිරි අබේසිංහ මහතා සිංහල බෞද්ධයා පුවත්පතේද සේවය කළේය. පසුව සහාය සංස්කාරවරයෙකු වශයෙන් දිණමින පුවත්පතට එක්වූ ප්‍රේමසිරි මහතා බුදුසරණ පුවපත්තේ කර්තෘ ලෙසද කටයුතු කළේය.