"මම සිම්බාබ්වේ මැච් එක බලනකොට පැරදුණාම ඇත්ත වශයෙන් කනගාටු වුණා. මොකද සිම්බාබ්වේ කොහෙද හිටියේ, අපි කොහෙද හිටියේ. යම්කිසි දෙයක් කරන කොට ඒක පවිත්‍ර අත්දෙකකින් කරන්න ඕන. නැතිනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ" යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා බදුල්ලේදී ඊයේ (01දා) පැවසීය.
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා තේ පාලක මණ්ඩලය සංවිධානය කළ අධ්‍යාපන ප්‍රදර්ශනය හා සල්පිලට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි හැමදාම පරණ විදිහට හිතන්නේ නැතිව අලුත් විදියකට හිතන්න අවශ්‍යයි. එදා ක්‍රීඩා ඇමති හැටියට මේ විදිහටම මම කටයුතු කළා. ක්‍රීඩා ඇමති හැටියට කටයුතු කළේ නොයෙකුත් අභියෝග මැද.
මැතිවරණයක් තියන්න කියලා අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නොයෙකුත් පීඩන තිබුණා. මම මැතිවරණයක් තිබ්බේ නැහැ. මම අතුරු කමිටුවක් පත්කළා. මම ලංකාවේ ඉන්න හොඳම ක්‍රීඩකයෙක් වන වෙත්තමුනි මහත්තයා සභාපති සභාපති හැටියට පත්කළා.
මම එතුමට කිව්වා සිදත්, දැන් අපි මේ යන විදිහට බංග්ලාදේශයටත් පැරදෙනවා කියලා. මේ ළඟදී ඒකත් වුණා.
මම සිදත්ට කිව්වා මම මේ ක්‍රිකට් මණ්ඩලය ඇඟිලි ගහන්න යන්නේ නැහැ. ඔයාට සම්පූර්ණ නිදහස තියනවා ඔයා කැමැති දෙයක් කරන්න. මට ඕන ප්‍රතිඵල විතරයි. හොඳ කණ්ඩායමක් හදලා ක්‍රිකට් මන්ඩලයේ දූෂණ, නාස්තිය අඩු කරලා මේක අපට හදන්න.
කණ්ඩායම පැත්තෙන්, නායකයන්ගේ පැත්තෙන්, පරිපාලනය පැත්තෙන්, පුහුණුකරුවන්ගේ පැත්තෙන්, මොකක් හරි ලොකු ගැටලුවක් ඇති. ඒක එළියට එන්නේ නැහැ. වෙත්තමුනි මහත්තයා ඒදා වැඩ කරගෙන යනකොට ජාත්‍යන්තර ක්‍රිකට් මණ්ඩලයෙන් කිව්වා අපට මේ පාලක මණ්ඩලය පිළිගන්න බැහැ ජන්දයක් තිබ්බේ නැහැ කියලා.
අපි මෝදි මහත්තයට කතා කරලා අපේ අගමැතිතුමා කිව්වා අපට අවුරුදු දෙකක් දෙන්න මේ පාලක මණ්ඩලය මෙහෙම ගෙනියන්න මොකද අපට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා කියලා.
මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන අපි ඒදා වාර්තාවක් ඉදිරිපත් කළා. මම ඒක දයාසිරි ඇමතිතුමාට දුන්නා. ඒ වාර්තාව, ඒ ඇති වු දූෂණ ටික තවම පරීක්ෂණ කරගෙන යනවා.
මම බොහොම කනගාටුවෙන් කතා කරන්නෙ. යම්කිසි දෙයක් කරන කොට ඒක පවිත්‍ර අත්දෙකකින් කරන්න ඕන නැතිනම් ඒක සාර්ථක වෙන්නේ නැහැ.
එම නිසා මම ඉල්ලීමක් කරනවා එදා වෙත්තමුනි මහත්තයා පටන් ගත්ත ඒ ක්‍රමවේදය අදත් ගෙනියන්න කියලා. එතුමා නැති වුණත් ඉතාම කෙලින් බැට් කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ" යැයි පැවසීය.