සෞදියේ සේවය කරන ශ්‍රමිකයන් සෞදි රජයට හෝ සෞදි ජනතාවට විරුද්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළහොත් වසර 05 සිට 20 දක්වා අපරාධ වරදක් සම්බන්ධයෙන් සිර දඬුවමකට හෝ සෞදි රියාල් මිලියනයක් දක්වා දඩ මුදලකට සෞදියේදී යටත් වන්නට සිදුවන බව සෞදි අරාබි රජය තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන දැනුවත් කර තිබේ.
සෞදි අරාබියට ගෘහ සේවිකාවක ලෙස ගිය දඹුල්ලේ පදිංචිව සිටි ඩබ්.ඩබ්. ඉන්ද්‍රකාන්ති නැමැති කාන්තාව තමන්ගේ වකුගඩුවක් බලෙන් ලබාගැනීමට හාම්පුතා විසින් රඳවාගෙන සිටිනබවට නගා තිබූ චෝදනා අසත්‍ය බවට විමර්ශනවලින් හෙළිවීමෙන් පසුවය.
මෙම සිදුවීම පිළිබඳ සොයාබැලීමට සෞදි තානාපති කාර්යාල නිලධාරීන් රියාද් සිට කි.මී 475ක පමණ දුරගෙවා ඇය සේවය කරන නිවස පිහිටා තිබෙන දාරිහා පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කර ඇති අතර,කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් හාම්පුතා සමග අදාළ කාන්තාව පොලීසියට ගෙන්වා තිබිණි.
ඉන්ද්‍රකාන්ති නමැත්තිය විසින් අසත්‍ය චෝදනා එල්ල කර ඇති බව එම විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. අනතුරුව ඇයව පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, සෞදි තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් සිදුවූ අපහසුතාව පිළිබඳව ඉන්ද්‍රකාන්ති වෙනුවෙන් සමාව අයැදීමෙන් අනතුරුව ඇයව නිදහස් කර තිබේ.
රියාද්හි තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවසේ රඳවා සිටි ඉන්ද්‍රකාන්ති නමැත්තිය ඊයේ (31දා) මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා අමාත්‍යවරිය කටයුතු යොදා තිබිණි.