සයිටම් ආයතනයට එරෙහිව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිදුකළ විරෝධතා පාගමනේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සහ එහි දේපොළවලට අලාභ හානි සිදු කළ තවත් ශිෂ්‍යයන් 110 දෙනෙකු හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම සිදුවීම පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ මධ්‍යම කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකය සහ මරදාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය තුළ සහ අවට තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කරමින් හා වෙනත් සාක්ෂි මත මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙම පරීක්ෂා කිරීම්වලදී අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් ඇතුළු වූ සහ එහි දේපොළවලට අලාභ හානි කළ සිසුන් 110දෙනෙකුගේ තොරතුරු ඊයේ (26දා) දිනය වනවිට හෙළි වී තිබෙන බව වාර්තා වේ.
පසුගිය 21 වැනිදා සිදුවූ මෙම සිද්ධියට අදාළව මේ වනවිට භික්ෂු ශිෂ්‍ය හිමිනමක් ඇතුළු 05 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
මෙම පිරිස අතර අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි හා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සිසුවාද සිටිති.
හඳුනාගත් 110 දෙනා පිළිබඳ පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, විමර්ශනය අවසන් වූ පසු මෙම පිරිස් අතරින් අත්අඩංගුවට ගතයුතු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ සිදුවීමේදී සිසුන් පළවාහැරීමට පොලීසිය අමානුෂික ලෙස පහරදුන් බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබේ.
මීට අමතරව සිසුන්ට පහරදීම පිළිබඳ ජාතික පොලිස් කොමිසමද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර, අදාළ සිදුවීම පිළිබඳපොලිස්පතිවරයාගෙන් වාර්තාවක්ද කැඳවා ඇත.