ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිමහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය අද (29දා) කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහරදුන් බවට අසාද් සාලිමහතා මාධ්‍ය හමුවකදී සිදුකර ඇති ප්‍රකාශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(එච්) වගන්තිය සහ දණ්ඩ නීතිසංග්රහයේ 291(අ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම පැමිණිල්ල සිදු කෙරිණි.
ඉකුත්27 වැනිදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී අසාද් සාලි මහතා මෙවැනි ප්‍රකාශයක් සිදුකළද බෞද්ධ භික්ෂූන්වහන්සේලා මුස්ලිම් පල්ලි කැඩූ බවට පැමිණිල්ලක් මෙතෙක් පොලීසියට ලැබී නොමැති බවත්, වගකීම් විරහිතව හා පදනම් විරහිතව සිදුකළ මෙම ප්‍රකාශයේ යටි අරමුණ ආගමික ගැටුමක් නිර්මාණය කිරීම බවත් එම පැමිණිල්ල මගින් පිවිතුරු හෙළ උරුමය පෙන්වා දී තිබේ.