මාලඹේ වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ඉවත දමන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01දා) තීරණය කළේය.
අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කරන ලද අභියාචනය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කරන ලද මෙම අභියාචන පෙත්සම මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබූ අවස්ථාවේදී එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටි විජිත් මලල්ගොඩ මහතා අධිකරණය අමතමින් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්විය.