ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන්තවත් වසර 50කින් යාපනය අර්ධ කාන්තාර ප්‍රදේශයක් බවට පත්වේවි යැයි බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.අද (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
ඇළ මාර්ග සහ ජල මාර්ග ආශ්‍රිතව ගොඩනගා ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ සහ නාගරික ප්‍රදේශයන්හි සිදුකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
“මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. එක් කරුණක් නම් ගෝලීය උණුසුම ඉහළ යාමයි. මේ පිළිබඳ ජාත්‍යන්තර වශයෙන්ද දැඩි අවධානය යොමුවිය යුතුයි.
අනෙක් කරුණ නම් අපට වළක්වාගත හැකි ගැටලු පිළිබඳ අවධානය නොතිබීමයි. මහාමාර්ග ඉදිකිරීම, නිවාස ඉදිකිරීම, ගොවිතැන් කිරීම ආදී සංවර්ධන කටයුතු පිළිබඳ නිසි ක්‍රමවේදයක් විධිමත් ප්‍රතිපත්තියක් නොමැතිවීමයි. සෑම කුඩා කඳු පංතියක්ම හෙළිපෙහෙළි කර අද කුඩා තේවතු බවට පත් කරලා. එසේම දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වී තිබෙන්නේ නිසි පරිසර අධ්‍යයනයන් සිදු නොකර බව පැහැදිලියි.
මේරටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය වන කොළඹ නගරය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට අප දියත් කර තිබෙනවා. කොළඹ ජලය බැසයාමට ඇති ඇළ මාර්ග අසල අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබෙනවා. අනවසර ඉදිකිරීම් කර ගැනීම සඳහා ඉඩම් හිමියන් කූට උපක්‍රම භාවිත කරනවා. මේ පිළිබඳ වගකිවයුතු රජයේ සෑම ආයතනයක් මෙන්ම අධිකරණයද විශේෂ අවධානය යොමු කළ යුතුයි.
අතමිට සරු පුද්ගලයන් විසින් සිදුකරන අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදුවන අනතුරුවලදී නීතිය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ට එක් අකාරයකටයි. ඒ වගේම දුප්පත් ජනතාවට නීතිය ක්‍රියාත්මක වන්නේ තවත් ආකාරයකට වීම බරපතළ ගැටලුවක්. මේ රටේ අමාත්‍යවරයෙකු ලෙස මේ පිළිබඳ මා ඉතා කනගාටුවට පත් වෙනවා. මෙම තත්ත්වය නිවැරදි නොවුවහොත් අපේ දරුවන්ට නැවත අතට ආයුධ ගන්නට සිදුවේවි.
ඒ වගේම නිවැරදි කාලගුණික, දේශගුණික තොරතුරු අද රටට අවශ්‍යයි. දියුණු රටවල් නිවැරදි දත්ත පදනම් කරගනිමින් නිවැරදි කාලගුණික අනාවැකි පළ කිරීම තුළින් විශාල විනාශයන් වළක්වාගෙන තිබෙනවා. ඒ අනුව අප රටටත්, නිවැරදි දත්ත පදනම් කරගත් නිවැරදි පුරෝකථනයක් ලබාදිය යුතුයි.
උතුරු හා නැගෙනහිර පළාත දරුණු නියඟයකින් බැට කෑමට නියමිතයි. තව අවුරුදු 50කින් යාපනය ප්‍රදේශය අර්ධ කාන්තාරයක් බවට පත්වන තරමටම ව්‍යසනය බරපතළ වී තිබෙනවා. නිජබිම කියා කෑ ගසන අයට අපි ප්‍රථමයෙන් කියා සිටින්නේ තමාගේ භූමිය රැක ගන්න කියා.”