පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2,500 කින් වැටුප් වැඩි කිරීම සහ අවම වැටුප රුපියල් 10,000ක් කිරීමට අදාළ පනත් කෙටුම්පත් දෙක කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා විසින් අද (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප පාර්ලිමේන්තු පනතක් මගින් තීරණය කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ජාතික අවම වේතනය පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
වෘත්තීය සමිති දීර්ඝ කාලයක සිට රජයෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත හඳුන්වා දීමට රජය කටයුතු කර ඇත. මේ පනතේ විශේෂත්වය නම් මෙම පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා සේවක සහ සේවායෝජක යන වෘත්තීය සමිති පාර්ශ්වයන් දෙකෙහිම සක්‍රිය දායකත්වය සහ එකඟතාව අමාත්‍යාංශය වෙත හිමිවී තිබීමය.
මේ පනත සම්මත වීමත් සමග පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම ජාතික වේතනය රුපියල් 10,000 ක් බවට පත්වේ. ඒ හා සමගාමීව අවම දෛනික වේතනය රුපියල් 400ක් බවට පත්වේ. මෙය 2016 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන අතර හිඟ වේතනද ගෙවිය යුතු වේ.
2015 පෙබරවාරි මාසයේ අයවැය මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2,500කින් වැටුප් වැඩිකිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් විය. මේ අනුව කම්කරු අමාත්‍යාංශය විසින් ජාතික කම්කරු උපදේශන සභාව කැඳවා මෙය ක්‍රියාත්මක කිරීමට අදාළව දීර්ඝ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමට කටයුතු කරන ලදී.
එහිදී ඇතිවු එකඟතාවන් අනුව මෙම පනත සම්පාදනය කරන ලදී. මේ අනුව රුපියල් 40,000 කට වඩා අඩු වැටුපක් ලබන පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම වැටුප් වැඩිවීම හිමි වේ.
ඒ අනුව 2015 මැයි මස 1 වැනිදා සිට අතීතයට බලපාන ලෙස පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීමට නියමිතය. 2015 මැයි මස 1වෙනිදා සිට රුපියල් 1,500ක් සහ ඉතිරි රුපියල් 1,000ක හිමිකම 2016 ජනවාරී සිට අදියර දෙකකදී හිමිවේ. පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන මෙම වැටුප් වැඩි වීමත් සමග ඊට අදාළ හිඟ වැටුප්, අර්ථ සාධක මුදල්, පාරිතෝෂිත ගෙවීම්, අතිකාල දීමනා ආදියද වැඩකරන ජනතාවට මේ හා සමගාමීව හිමිවේ. මේ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ට එකවර ප්රතිලාභ රැසක් ලැබෙන පනත් කෙටුම්පතක් රජය විසින් හඳුන්වාදී ඇති බව කිව යුතුය.
මෙම පනතට අදාළ නීතීය ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා හා කාර්යමණ්ඩලය කටයුතු කරයි.