උපාධිධාරීන්ට රැකියා ලබාදීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට රැකියා විරහිත උපාධිධාරීන් 42,000ක් රට තුළ සිටින බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.
ඇතැම් උපාධිධාරීන් වයස අවුරුදු 35 ඉක්මවා සිටින බැවින් ඔවුන්ට රැකියා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණයකටවත් මුහුණදීමට නොහැකි වී තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානාන්ද හිමියෝ අවධාරණය කළහ.
රැකියා ලබාදෙන ලෙස ඉල්ලා, රට පුරා උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර දියත් වෙමින් තිබෙන බවත්, උතුරු නැගෙනහිර රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයට මේ වනවිට මාස 04කට අධික කාලයක් ගතවී තිබෙන බවද උන් වහන්සේ පවසා සිටියහ.
රැකියා, විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා මහපාරේ සටන් කරන විට ගුරු පුරප්පාඩු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා ඊට අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති අරගල කරමින් සිටින බවද උන්වහන්සේ අවධාරණය කළහ.