වාර්ෂිකව පැවැත්වෙන ජාතික පොසොන් පිංකමේදී වීථි සංචාරය කරන මිහිඳු පෙරහරට අනුග්‍රය දක්වන බව පැවසූ රාජ්‍ය මධ්‍ය ආයතනයක් ඊයේ (01දා) දිනයේ හදිසියේම එසේ අනුග්‍රහය දැක්විය නොහැකි බව පැවසීමෙන් තමන් වහන්සේ දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
පොසොන් පොහොයට පෙර දිනයේ (07දා) මිහිඳු මහා පෙරහැර වීථි සංචාරය සිදුකරන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ තිහක් පමණ වැයවේ. අලි ඇතුන් 15 දෙනෙකු ඇතුළු උඩරට පහත රට සංස්කෘතික අංග සහිතව මෙම පෙරහැර වාර්ෂිකව වීථි සංචාරය කරයි. පසුගිය වසර කිහිපය පුරාම පෙරහරට පෞද්ගලික මාධ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වා ඇති අතර මෙවර එම කටයුත්තට අනුග්‍රහය ලබාදීමට එකඟවූ මාධ්‍ය ආයතනයේ සභාපතිවරයා හදිසියේම අනුග්‍රහය ලබාදීමට නොහැකි බව උන්වහන්සේට පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
"උත්තිය රජ දවසේ සිටම මිහිඳු පෙරහර වීථි සංචාරය කරනවා.පෙරහර පවත්වන්නේ සම්ප්රදායක් ලෙසයි. මිහිඳු මාහිමියන්ගේ පිළිරුව පොහොයට පෙර දින රාත්‍රියේ පෙරහරින් විහාරස්ථානයේ ඉහළ මළුවට වඩම්මවනවා. මෙවර මාධ්‍ය ආයතනයක් ඒ සඳහා අනුග්‍රහය ලබාදීමට එකඟවී ඊයේ (01දා) මට දුරකථන ඇමතුමක් දීලා කියනවා අනුග්‍රහය දෙන්න විදියක් නෑ කියලා.
මේ විදියට වගකීම් විරහිතව නිලධාරීන් වැඩකරද්දී කොහොමද අපි වැඩකරන්නේ. මේක සැණකෙලියක් නෙමෙයි. මිහිඳු මාහිමිපාණන්ව සිහිකිරීමක්. මේ සිදුවීමත් සමග මා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා සංවේගයට පත්වී සිටින්නේ. ඒ නිසා මිහිඳු පෙරහර පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීමට හැකි ආයතනයක් තියෙනවානම් ඉදිරිපත් වෙන්න කියලා මා ඉල්ලා සිටිනවා " යැයිද පවසා සිටියහ.
තිසර සමල් - එප්පාවල/ බී.ජී චතුරංග