ආණමඩුව පැරණි ගම් උදාභූමියේ ඊයේ (01දා) ආරම්භ කළ රණවිරු නීරෝ නමින් වූ නිවාස යෝජනා ක්රමයේ නිවාසවලින් බහුතරයක් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සමීපතම ආධාරකරුවන් ඇතුළු පිරිසකට ලබාදී ඇතැයි ජනතාව චෝදනා කරති.
ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිඳුම් බළකායේ සුවිශේෂ දස්කම් දක්වමින් සතුරු ඉලක්කය නිවැරදි ලෙස හඳුනාගෙන සුවිශේෂී සේවාවක් සිදුකරමින් සිටියදී සතුරන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වූ කොප්රල් රංජිත් ප්‍රේමසිරි (නිරෝ) රණවිරුවා වෙනුවෙන් නම් කළ නිවාස 34කින් සමන්විත 'විරෝධාර රණවිරු නීරෝගම නිවාස යෝජනා ක්‍රමය' ඊයේ (01දා) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වාරි මාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එම උත්සවය සංවිධානය කර තිබිණි. මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සහ අධීක්ෂණය සිදුකර ඇතැයි වාර්තා වේ.
මෙම නිවාස යෝජනා ක්රමයේ රණවිරු නීරෝගේ මව රීටා ප්‍රනාන්දු මහත්මියටද එක් නිවසක් ලබාදී ඇති අතර, එම නිවසද මේ වනවිට අඩක් ඉදිකර තිබේ.
කෙසේ වෙතත් ජනතාව පවසන්නේ මෙම නිවාස යෝජනා ක්රමයේ නිවාස රංගේ බණ්ඩාර මහතාගේ ලේකම්වරු ඇතුළු සමීපතමයන් පිරිසකට බෙදා දී ඇති බවයි. මෙය සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවෙළේ නැති බැරි පිරිස් වෙත නිවාස ලබාදීමේ ප්‍රතිපත්තියෙන් ඉවත්ව, නිවාස ඇති ඉහළ ආදායම් තත්ත්වයක් හිමි පිරිස් වෙත නිවාස ලබාදීමට ආරම්භ කළ යෝජනා ක්‍රමයක් දැයි ජනතාව ප්‍රශ්න කරයි.
මෙම නිවාස ලැබූ පිරිසෙන් ඇතැමුන් ආණමඩුවේ පදිංචිය පවා නොමැති අය බවද ජනතාව චෝදනා කරති.