යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මයිලඩි ධීවර වරාය ඇතුළුව තයිඩ්ඩි ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 54 ක භූමි ප්‍රදේශයක් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අද (03දා) සිදු කෙරිණි.
මේ අනුව අවතැන් මධ්‍යස්ථානවල රැඳී සිටින පවුල් 187 ක් මෙම ඉඩම් නිදහස් කිරීම නිසා 30 වසරකට පසු නැවතත් තමන්ගේ මුල් ඉඩම්වල පදිංචිවීම සඳහා පැමිණෙනු ඇත. මීට පෙර ද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මගින් 2017 අප්‍රේල් මස 07 වැනිදා ඌරණි ප්‍රදේශයේ ඌරණි ධීවර වරාය ඇතුළු අක්කර 35 ක් එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට නිදහස් කර ලබා දී ඇත.
මෙම ඉඩම් අක්කර 54 ලබාදීමේ උත්සවය ජාතික ඒකාබද්ධතා හා ප්රතිසන්ධාන අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, පුනරුත්ථාපන නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලදී. එහිදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම් මහතා වෙත මෙම ඉඩම් නිදහස් කිරීමේ නිල ලේඛන ලබාදීම සිදු කෙරිණි.