මුහුණුපොත හරහා ලක්ෂ 500ක මූල්‍ය වංචාවක් - විමසිලිමත් වන්න
මුහුණු පොත (ෆේස්බුක්) හරහා මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 15කට අධික පැමිණිලි ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මෙම පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී මෙරට සංචාරක කටයුතු සහ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින විදේශීය ජාතිකයන් විසින් මෙරට පුද්ගලයන් සමග මිතුරු ඇසුරු පවත්වා ත්‍යාග ලබාදෙන බව පවසමින් හා එම ත්‍යාග ඔවුන් වෙත එවීම සඳහා අවශ්‍ය තැපැල් ගාස්තු, රේගු, රක්ෂණ ගාස්තු, මුදල් අමාත්‍යාංශයට ගෙවිය යුතු මුදල් ලෙස විවිධ පුද්ගලයන්ගේ මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කරගැනීමෙන් මෙම මුදල් වංචාව සිදුකරන බව පොලීසිය පවසයි.
මේ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම අපරාධයන්ට සම්බන්ධ නයිජීරියානු හා උගන්ඩා ජාතික සැකකරුවන් 25කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.
මේ ආකාරයට විදේශ ජාතිකයන් විසින් මාලඹේ, දෙහිවල, ගල්කිස්ස, මීගමුව සහ ගාල්ල යන ප්‍රදේශයන්හි තාවකාලිකව නවාතැන් ගෙන සමාජජාල හරහා මූල්‍ය වංචා සිදුකර තිබේ.
ඒ අනුව සිදුකළ විමර්ශනවලදී රුපියල් ලක්ෂ 500කට අධික මුදලක් මෙසේ වංචා සහගතව ගිණුම්වලට තැන්පත් කර විදේශයන්ට රැගෙන ගොස් ඇතැයිද පොලීසිය පවසයි.
මේ හේතුවෙන් මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ ආකාරයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අපරාධවලට ගොදුරු වන ශ්‍රී ලංකිකයන් තවදුරටත් එවැනි සිදුවීම්වලට හසුවීම වළක්වා ගැනීම සඳහා පහත කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
1) මුහුණුපොත හරහා තමන් වෙත පණිවිඩ එවන නොහඳුනන මිතුරන්ට තොරතුරු ලබාදීමෙන් ප්‍රවේසම් වන්න.
2) මුහුණුපොත හෝ සමාජ ජාල වෙබ් අඩවිවලින් හමුවන සෑම මිතුරන් සැබෑ මිතුරන් නොවන බව වටහා ගත යුතුය. ඒ අතර වංචනිකයන්, අපරාධකරුවන්, කාම අපරාධකරුවන් සිටිය හැකිය.
3) දෙමවුපියන් විසින් තම තරුණ ගැහැනු දරුවන් සමාජ ජාල වෙබ් අඩවි හරහා සම්බන්ධ වන නොහඳුනන මිතුරන් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

