කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුවන බවත්, 2019 දෙසැම්බර් මාසයට පෙර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අවසන් කරන බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අද (10දා) පැවැති විශේෂ හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
''අපි කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කරලා තියෙනවා. 2019 දෙසැම්බර් මාසයට කලින් මේ මාර්ගයේ වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කොළඹට යන්න පැය තුන හතරක් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. පැයෙන් යන්න පුළුවන්. මේ වගේ වැඩකටයුතු රාශියක් සිදුවෙමින් තියෙනවා. රත්නපුරය දක්වා රුවන්පුර අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා කරගෙන යනවා. කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගය ආරම්භ කරන්නටත් අපි කටයුතු කරනවා. මේ සියල්ලක්ම අපි කළේ අවුරුදු තුනක් වැනි කෙටි කාලයක් ඇතුළතයි'' යැයි පවසා සිටියේය.