කටුගස්තොට, හපුගොඩ ප්‍රදේශයේදී පසුගිය මාර්තු මස හය වනදා සිදු වූ රිය අනතුරකින් මිය ගිය බවට සියලු පරීක්ෂණ අවසන් කර භූමදානය කළ 29 හැවිරිදි විවාහක තරුණයෙකුගේ මෘත ශරීරය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික එස්.රාගල මහතා හමුවේ අද (22දා) සවස යළිගොඩ ගනුලැබීය.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කළුවාන දකුණ ග්‍රාම නිළධාරි වසමේ පදිංචිව සිටි මල්වානේ ගෙදර දිල්ශාන් චාමර නැමති මෙම එක් දරු පියාගේ මරණය රිය අනතුරකින් සිදුවූ බවට තීරණය වී තිබුණද එය සැක සහිත බවත් එම මරණය පිළිබඳව නැවත පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහුගේ පියා නිහාල් උපතිස්ස මහතා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.
එම පෙත්සම සලකා බැලූ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික එස්. රාගල මහතා මෙම මෘත ශරීරය ගොඩ ගෙන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී මගින් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පවතවා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ලෙසද නියෝග කරනු ලැබ තිබේ.


මොහොමඩ් ආශික්