හම්බන්තොට, කටුවැව, 'සමරකෝන් වැව' ආසන්නයේ කැළෑ ප්රදේශයක වළක වැටී සිටියදී බේරාගෙන කැලයට මුදාහැර සිටි මාස තුනක පමණ වයසැති අලි පැටවෙකු මව් ඇතින්න මගහැරී අතරමංව සිටියදී අල්ලා ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට බාරදුන් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාර ජේ.ඒ.පී. විජය කුමාර මහතා පැවසීය.
කුඩා අලි පැටවෙකු වළක වැටී සිටින බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය මස 26 වැනිදා මෙම අලි පැටවා බේරාගැනීමට කටයුතු කර තිබිණි.
අලි පැටවා බේරා ගැනීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ මව් ඇතින්නිය එම ස්ථානයේ රැඳීසිටීම හේතුවෙන් අලි පැටවා බේරා ගැනීමට අපහසු වූ අතර, පසුව මව් ඇතින්න පළවා හැර මෙහෙයුම දියත් කර තිබිණි.
එලෙස බේරාගත් අලි පැටවා කැලෑවට මුදාහැරීමෙන් පසු මව් ඇතින්න මගහැරී හම්බන්තොට, පතලයාගම ප්රදේශයේ අතරමංව සිටීම හේතුවෙන් ඇත් අතුරු සෙවණට බාරදීමට කටයුතු කර තිබේ.