බොරැල්ල ආයුර්වේද රෝහලේ ඉඩ අර්බුද වැඩි වෙද්දී
බලධාරීන් අවුරුදු දෙකක් උඩු මහල් දෙකක් වසා තබලා
ජාතික ආයුර්වේද සෞඛ්‍ය සේවයේ ප්‍රමුඛතම ස්ථානය වන, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල් ගොඩනැගිල්ලට අයත් මහල් 02 ක් භාවිතයෙන් ඉවත් කර වසර දෙකකට ආසන්න කාලයක් නිකරුණේ වසා දමා ඇති බව ජාතික ආයුර්වේද රෝහල් ආරංචි මාර්ග පවසයි.
ජාතික ආයුර්වේද රෝහලේ හතර වැනි හා පස්වැනි මහල්වල පවත්වාගෙන ගිය බාහිර රෝගී අංශය, සායන ගණනාවක් හා ලෙඩුන්ගේ වාට්ටුද මේ වනවිට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක මහතා පැවසුවේ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය භාරයේ වර්තමානයේ පවතින මෙම ගොඩනැගිල්ලේ අදාළ මහල් දෙක 2008 වර්ෂයේදී දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත්ව තිබූ බවත්, අනතුරුව සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධ කිරීමෙන් අනතුරුව එම මහල් අමාත්‍යාංශ භාවිතයෙන් ඉවත් කළ බවයි.
කෙසේ වුවද අනතුරුව අමාත්‍යංශ ගොඩනැගිල්ල බවට පත් වූ මෙම මහල් දෙක වත්මන් ආණ්ඩුව යටතේ වසා දමා ඇති අතර, හයිඩ් පිටිය ආසන්නයෙන් කුලී පදනම මත භාවිතා කරන අමාත්‍යංශ ගොඩනැගිල්ල ආණ්ඩුවේ ප්‍රබලයෙකුට අයත් බවද පැවසේ.
වෛද්‍ය චමල් ආර්. කුලතිලක මහතා සඳහන් කළේ, රෝහලේ ඉඩ අර්බුදය හේතුවෙන් මේ වනවිට 65 0ක්ව තිබූ ඇඳන් ධාරිතාව 120 දක්වා අඩු වී ඇති අතර, දෛනිකව 600ක් ඉක්මවා පැමිණි රෝගීන් 300කට ආසන්න ගණනක් දක්වා අඩු වී ඇති බවයි.
ගුද රෝග සායන වැනි සායන පවත්වා ගෙන යාමටත්, වාට්ටු පවත්වාගෙන යාම සඳහා ස්ථාන නොමැති තරමේ ඉඩ පහසුකම් අර්බුදයකට ආයුර්වේද ජාතික රෝහල මුහුණදී තිබියදී මහල් දෙකක් නිකරුණේ වසාදමා ඇති බව ඔහු පැවසීය.
සමස්ත ලංකා රජයේ ආයුර්වේද නිලධාරී සංගමය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාව පළකරන අතර, ආයුර්වේද රෝහල තත්ත්වයද මේ වනවිට දිනෙන් දින කඩාවැටෙන තත්ත්වයකට මුහුණදෙමින් ඇති බව වෛද්‍ය කුලතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික ආයුර්වේද රෝහල ජාතික රෝහලක් පමණක් නොවන අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා පුහුණුව ලබාදෙන ශික්ෂණ රෝහලක්ද වේ. සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙම උඩු මහල් දෙක නැවත ජාතික ආයුර්වේද රෝහලට පවරන ලෙස ඉල්ලා ඇති බවද පැවසේ.
මේ පිළිබඳව අදහස් විමසීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා ඇමතුවද එම අවස්ථවේ ඔහු කාර්යබහුල සාකච්ඡාවකට සහභාගි වී සිටි අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම චෝදනා සම්බන්ධයෙන් නිසැකවම පැහැදිලි කිරීමක් පසුව සිදුකරන බවයි.