බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතීපතිවරයා කටයුතු කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැදුම්කර කොමිසම හමුවේ ඊයේ (26දා) පැවසීය.
නීතීපතිවරයා ගැලරියට කතා කරන බවට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා මතු කළ කරුණට පිළිතුරු දෙමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එසේ පැවසීය.
මහා බැංකුවේ සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් සිටියදී ඇය විසින් ප්‍රශ්ණයක් නැගූ අවස්ථාවේදී නැගී සිටි නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා කිසිවෙකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු නොවිය යුතු බවත් ඔහුට ජනතාව වෙන්වෙන් වගකීමක් ඇතැයිද කීය.
ඒ අවස්ථාවේදී නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතාට සිය ස්තූතිය පළ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය වැඩිදුරටත් විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාගේ සාක්කි විමසීම සිදු කළ අතර දිනයේ කටයුතු අවසානයේ කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා නීතීපතිවරයා සම්බන්ධයෙන් මතු කළ කරුණ පිළිබඳව පිළිතුරක් දීමට අවශ්‍ය බව කීය.
ඒ අනුව කොමිසම ඇමතූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා නීතීපතිවරයා ගැලරියට කතා නොකරන බවත් නීතීපතිවරයාගේ උත්සහය වී ඇත්තේ බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑම බවත් පැවසීය.
නීතීඥ හර්ෂ ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මෙය කරුණු සෙවීම සඳහා පත් කළ කොමිසමක් බවත් මෙයට දඬුවම් දීමට බලයක් නොමැති බවත් පැවසීය.
ඊට පිළිතුරු දුන් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමේදී කරුණු හෙළි කර ගත් පසු අධිකරණය හමුවේ නඩු පවරා බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට කටයුතු කරන බවත් පැවසීය.