බැඳුම්කර කොමිසමෙන් කිසිවෙකුටක් දඬුවම් ලබානොදෙන බවත් මෙය බැඳුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු සෙවීම සඳහා පත්කළ කොමිසමක් බවත් බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ඊයේ (27දා) පැවසීය.
බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතිපතිවරයා කටයුතු කරන බව ඇතැම් පුවත්පත්වල වාර්තා කර ඇතැයි කියමින් බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එසේ පැවසීය.
ඒ අවස්ථාවේදී කොමිසම හමුවේ නැගී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා, බැඳුම්කර වංචාකරුවන් පෝරකයට ගෙන යෑමට නීතිපතිවරයා කටයුතු කරන බව මෙම කොමිසම හමුවේ තමා පැවසූ බවත් එහි වගකීම තමා බාරගන්නා බවත් පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම අමතමින් මාධ්‍ය සාධාරණ විය යුතු යැයි පැවසීය.
කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කොමිසම අමතමින්, මෙම කොමිසම හුදෙක් බැඳුම්කර වෙන්දේසියට අදාළ තොරතුරු සොයා බැලීම සඳාහා පත්කළ කොමිසමක් යැයි පැවසීය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳාහා පත්කොට ඇති මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදුකෙරිණි.
බුද්ධිමාල් රුබේරු සහ රන්ජන් කටුගම්පොළ