පොළොන්නරුවට වකුගඩු රෝහලක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත වකුගඩු රෝහලේ ඉදිකිරීම් පිළිබඳ අවබෝධතා ගිවිසුමට අද (06දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අත්සන් තැබිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ චීන රජය වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක යන්ග් සොයුන් මහතා විසින් එම ගිවිසුමට අත්සන් තබන ලදී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 මාර්තු මාසයේදී චීනයේ සිදුකරන ලද නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී පින්පින් මහතා සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම වකුගඩු රෝහල ශ්‍රී ලංකාවට හිමි විය.
ඇඳන් 200කින් රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින් හා නවීන තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර සංකීර්ණයක් සහිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ රෝහලක් ලෙස මෙම රෝහල ඉදිකෙරෙන අතර, වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12කි.
මූලය හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට පත්ව ඇති අතර, එම සියලු දෙනා වෙනුවෙන් වූ දීර්ඝකාලීන අවශ්‍යතාව සපුරාලමින් ඉදිකෙරෙන මෙම වකුගඩු රෝහල සඳහා ලබන ජූලි මසදී ජනාධිපතිවරයා අතින් මුල්ගල් තැබීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
