පළාත් පාලන ආයතන දෙකක මැතිවරණය පැවැත්වීම තවදුරටත් කල්ගතවීම නිසා දේශපාලන පක්ෂ 32කට වැඩි ප්‍රමාණයකට පක්ෂ ලියාපදිංචිය අහිමි වී ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.
සාමාන්‍ය ක්‍රමවේදයට අනුව වසර 14කින් පක්ෂ ලියාපදිංචියක් සිදු වී නොමැති බවත්, මේ අනුව එම කාලය තුළදී නව පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදුවී නොමැති බවත් එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණය මීට වසර හතරකට පෙර ප්‍රකාශයට පත් කළද විවිධ හේතු නිසා එම ආයතන දෙකෙහි මැතිවරණය මෙතෙක් පැවැත්වීමට නොහැකි වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා පක්ෂ ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පනතක් සම්මත කර අදාළ ආයතන දෙකේ මැතිවරණය අවලංගු කර දැමිය යුතු බවත් විධායක අධ්යක්ෂවරයා සඳහන් කළේය.