සිය ධුරයේ වගකීම සියයට සියයක් නිවැරදිව ඉටුකර තිබෙන බව තමන්ට විශ්වාස බවත්, ඉදිරියටත් එම වගකීම නිසිපරිදි ඉටුකිරීමට කටයුතු කරන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය. අමාත්‍ය ධුරය තමන්ගේ අයිතිවාසිකමක් නොවන අතර, ඒ වෙනුවට ඉදිරියේදී වෙනත් වගකීමක් ලබාදෙන්නේනම් එයද නිවැරදිව ඉටුකරන බවද අමාත්‍යවරයා පැවසීය.
සාර්ක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ 08 වන සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (06දා) අරලියගහ මන්දියේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
&මම නීතියට ගරුකරන කෙනෙක්. මම හැදිලා වැඩිලා තියෙන්නෙ එහෙම. නීතිය කඩකරන්න කැමති නැහැ. ඒ ආයතනවලිනුත් මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම සේවයක්. ඒකට මම ඇඟිලි ගහන්නේ නැහැ. මට වගකීමක් භාරදෙන කොට ඒ වගකීම හරියාකාරව ඉටුකිරීමේ වගකීම මට තියෙනවා. ඒක වගකීම මම නිවැරදිව ඉටුකර තියෙනවා කියන දේ මට සියයට සියයක් විශ්වාසයි. ඉදිරියටත් ඒ විදිහටම ඉටුකරනවා. නමුත් මේ වගකීම වෙනස් කරලා වෙනින් වගකීමක් භාරදෙනවානම්, ඒ වගකීමත් මම හරියට ඉටුකරනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ජනාධිපතිතුමත්, අගමැතිතුමත් එක්ක කතා කරලා ඔවුන්ගේ අවසරය ඇතිව මාත් එක්ක කරුණු සාකච්ඡා කරන්න මම අවසරය දෙන්නම්.
(මාධ්‍යවේදීන්) - නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔබතුමාට ඉහළින් බලපෑම් තිබෙනවාද?
(අමාත්‍යවරයා) - මම ඒ උත්තර පස්සෙ වෙලාවක දෙන්නම්. මාව අමාරුවේ දාන්න ප්‍රශ්න අහන්න එපා. මට නම් කාගෙන්වත් බලපෑමක් නැහැ. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්.
ඡයාරූප - ශමීර රාජපක්ෂ