ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ගෝවා නැව් තටාකාංගණයේ නිෂ්පාදනය කරමින් පවතින අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා ද්විත්වයේ නිමැවුම් කටයුතු අවසන් අදියරට ළඟාවෙමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි.
ඉන් එක් නෞකාවක පහසුකම් හා තාක්ෂණය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ සාගරික මුර සංචාර සිදු කිරීම, විශේෂ සෝදිසි කිරීම් හා මුදවාගැනීම් මෙන්ම සාගරික පරිසර පද්ධති අපවිත්‍ර වීම පාලනය කිරීම වැනි මෙහෙයුම් මෙම නෞකාව මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම මෙම නෞකාව නාවික හමුදා නෞකා බලගණයට එක් වූ පසු නාවික හමුදාව සතු විශාලතම ධජ නෞකාව වනු ඇත.
නෞකාව දිගින් මීටර් 105.7 ක් වන අතර, පළලින් මීටර් 13.6කින් යුක්ත වේ. ඊට අමතරව ටොන් 2350 ක ධාරිතාවකින් සහ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි හෙලිපථයකින්ද යුක්තය.
නෞකාව නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයන් 100 දෙනෙකුට රාජකාරි කිරීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත වේ. තවද, නාවික සැතපුම් 4,500ක ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාවද මෙම නෞකාව සතුය.
අධිතාක්ෂණික නෞකා නිෂ්පාදනය කිරීම 2014 වසරේ මැයි මස ආරම්භ කරන ලද අතර, නෞකාවන් දිය මතට මුදාහැරීම පසුගිය වසරේ (2016) ජුනි මස සිදු කෙරිණි. මෙම වසරේ (2017) ජුනි මස වනවිට නෞකා ද්විත්වය අතරින් එක් නෞකාවක් සහ ඉන්පසු වසරක ඇවෑමෙන් අනෙක් නෞකාවද ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්වීමට නියමිතව ඇත.