හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් අධිකරණයේ පෙනී සිටි තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (28දා) නියම කළේය.
නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින එහෙත් අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බව කියන විත්තිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විනිසුරුවරයා යළිත් වරක් සිතාසි නිකුත් කළේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි විත්තිකාර පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක මහත්මීන්ට මෙලෙස ඇප නියම කෙරිණි.
මීට පෙර අවස්ථාවකදී අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාර ඔවුන්ට බාර දුන්නේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.