පසුගිය බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ආදායම් සංශෝධන පනතට විරුද්ධව අද (11) දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2006 අංක 10 දරණ දේශිය ආදායම් පනතේ බද්දෙන් නිදහස් වීම පිළිබඳ විධිවිධාන ඇතුළත් පිටු 44ක් ගලවා ඉවත් කර නව පනත ගෙනැවිත් ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙය ඇසූවන් පුදුමයට පත්වන බදු ගෙවීමකට ස්වජාතිකයන් යටත්වන ආකාරයට ස්වජාතිකයන් වනසන,විජාතිකයන් සනසන රටම විනාශ කරන බදු දඩයමක් සඳහා සූදානම් වන බදු සංශෝධනයක් බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාවට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මෙම පනත ඉදිරිපත් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිලාභවලට මෙතෙක් පැවැති බදු අනුපාතය 10%ක් වුවද,නවපනතින් එය 14% ක් දක්වා වැඩිකර සේවාදායකයාගෙන් අණ්ඩුවට අයවියයුතු මුදල 04%කින් වැඩි කර ඇති බව ගුණවර්ධන මහතා කීවේය.
2011 සිට සේවක අර්ථසාධක අරමුදලේ ප්රතිලාභ ආපසු ලබන විට සේවකයා බදුවලින් සම්පූරණයෙන් නිදහස් කර තිබුණද, නව පනත මගින් සේවක අර්ථසාධක අරමුදල යළි ලබාගන්නා අවස්ථාවේදී රජයට බදුගෙවීමට සිදුවන බවත්,නිෂ්පාදකයන් දිරිගැන්වීම සඳහා ආණ්ඩුව ලබාදෙන සහනාධාර මුදල බද්දට යටත් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය,සමූපකාර ව්‍යාපාරය,සමූපකාර සංවර්ධන අරමුදල,පර්යේෂණ ආයතන ඇතුළු ආයතන රාශියක කාර්යභාරය සලකා පසුගිය ආණ්ඩුව විසින් බද්දෙන් නිදහස් කර තිබුණද,එම ආයතන සියල්ල නව පනත මගින් බද්දට යටත් කර ඇතැයිද ඒ මහතා පැවසීය.
ඉංජිනේරුවන්,ගණකාධිකාරීවරුන්,ගෘහ නිර්මාණ ශිල්පීන් වැනි වෘත්තිකයන්ට දිරිදීමක් වශයෙන් 16%ක අනුග්‍රාහක බද්දකට යටත් කර තිබුණද,නව පනතින් ඔවුන් 24% ක බද්දකට යටත් කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.