රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනය අපරාධයක් බව තීරණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙම අපරාධයට සම්බන්ධ සියලු තරාතිරම්වල සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලීසියට ඊයේ (25දා) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කෙරුණු අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා, ඩී.එන්.ඒ. වාර්තා, මෝටර් වාහන පරීක්ෂකවරයාගේ වාර්තා ඇතුළුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු වාර්තා හයක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.
2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ සිය මෝටර් රථය තුළදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා මියගොස් සිටි අතර, ඔහුගේ දේහය පිළිස්සී ගොස් තිබිණි. මේ සම්බන්ධයෙන් මුලින් වෙනස් මතයක් දැරුවද පසුව රහස් පොලීසිය විසින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව මේ පිළිබඳ යළි පරීක්ෂණ ආරම්භ කෙරිණි. එම පරීක්ෂණවලදී තාජුඩීන්ගේ දේහය අධිකරණ නියෝග මත යළි ගොඩගෙන පරීක්ෂණ සිදු කරන ලදී.
මෙම පරීක්ෂණවලින් අනතුරුව මෙම සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය ඊයේ (25දා) ප්‍රකාශයට පත් කරමින් මෙම ඝාතනය අපරාධයක් බවට තීරණය කළේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීරණය දැනුම්දෙමින් නියෝගයේ අවසන් කොටස් අධිකරණයේ කියැවූ මහේස්ත්‍රාත්වරයා මෙම අපරාධයට අදාළ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලීසියට නියම කළේය.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසද රහස් පොලීසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව පවත්වන පරීකෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසද නියම කළේය.