හම්බන්තොට, කටුවැව ප්‍රදේශයේදී 17 හැවිරිදි තරුණියකට අතවර කිරීමට තැත්කළ බව පැවසෙන චීන ජාතිකයෙකු හම්බන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අද (26දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කෙරිණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ 46 හැවිරිදි පුද්ගලයෙකි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට තම මව සමග ආපන ශාලාවක් පවත්වාගෙන යන තරුණිය සිටින වෙළෙඳ සැලට පෙරේදා (24දා) පැමිණි සැකකරු, තේ එකක් ඉල්ලා ඇති අතර, එය සාදාගෙන ඒමට තරුණිය වෙළෙඳසැලට ඇතුළට ගිය අවස්ථාවේ සැකකරු අතවර කිරීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේ තරුණිය සැකකරුගෙන් මිදී නිවසට දිව ගොස් තිබූ අතර, සිද්ධිය වන අවස්ථාවේ නිවසෙහි කිසිවෙකු සිට නැතැයි හෙළිව තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.