'තඹුවා නැමැති මීටර් 20ක් පමණ ගැඹුරු මුහුදේ ගල්පර ආශ්‍රිතව වෙසෙන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂය වද වී යාමේ තර්ජනයට ලක් ව ඇති නිසා ඔවුන් ඇල්ලීම තහනම් කළ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මුහුදේ කිමිදීම මගින් මසුන් අල්ලන ධීවර කාර්මිකයන් සමග ඊයේ (21දා) පස්වරුවේ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර, එම ධීවර කාර්මිකයන් ඉල්ලා සිටියේ එම තහනම ඉවත්කර තමන්ට 'තඹුවා' නැමැති මසුන් ඇල්ලීම සඳහා අවසර ලබා දෙන ලෙසයි.
එහෙත් මේ සම්බන්ධයෙන් නාරා ආයතනයේ කරුණු පැහැදිලි කිරීම් මත අදහස් පළ කළ අමාත්‍යවරයා මේ වනවිට මත්ස්‍ය විශේෂ කිහිපයක් ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති බව පැවසීය. ඒ අනුව තඹුවා, කොස්සා, බොරළුවා, ගිරවා වැනි මසුන් තර්ජනයට ලක්ව ඇති බවත්, ඊට ප්‍රධාන හේතුව වැඩුණු මසුන් ඇල්ලීම වෙනුවට ධීවර කාර්මිකයන් විසින් ඉවක්බවක් නැතිව කුඩා මත්ස්‍ය පැටවුන් පවා අල්ලා අලෙවි කිරීම බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.
තඹුවා යනු වසර 12ක් පමණ දීර්ඝ ආයු කාලයක් සහිත, අවුරුදු 05කදී බිත්තර දැමීමට පටන් ගන්නා සෙමින් බෝවන පරිසර හිතකාමී මත්ස්‍ය විශේෂයකි. මෙම මසුන් සමග සහජීවනයෙන් කටයුතු කරන රතු ඉස්සා නැමති මුහුදු ඉස්සන් විශේෂයද තඹුවා විනාශ විමත් සමග වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටී.
කෙසේවුවද මෙම ධීවර කාර්මිකයන්ගේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත්, දැනට තඹුවන් ගහනය වර්ධනය වී ඇත්නම් වැඩුණු පරිණත තඹුවන් පමණක් (ග්‍රෑම් 800 වඩා වැඩි බරකින් යුත්) ඇල්ලීම සඳහා අවස්ථාව සලසන ලෙසත්, ඒ සඳහා විශේෂ අධ්‍යයනයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.