විදුලිය, ජලය, ඛනිජ තෙල්, රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කර දෙකෝටියක් ජනතාව බිලිදීමට වෘත්තීය සමිතිවලට ඉඩ ලබානොදෙන බවත්,එම ජනතාව වෙනුවෙන් වගකීමට බැඳී ඇති ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතා ඉක්මනින් තීරණයක් ගනු ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (27 දා) පැවසීය.
එහි කටයුතු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීමට ජනාධිපතිවරයා තීරණයක් ගෙන තිබුණද එම කටයුතු සිදුකරන ආකරය සම්බන්ධව මෙතෙක් පැහැදිලි කර නොමැති බවද රණවක මහතා පැවසුවේය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සෑම ක්ෂේත්රයකම සංවාදයක් තිබිය යුතු බවත්,සංවාදයකින් හෝ කිසිදු දැනුම්දීමකින් තොරව අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමට වෘත්තීය සමිතිවලට ඉඩ ලබා නොදෙන බවත්ය.
2007 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා වැඩවර්ජනයක් කැඳවූ අවස්ථාවේදී ඊට මුහුණදී යුද්ධය පවත්වාගෙන යෑම සඳහා තමන් මැදිහත්වූ බවද හෙතෙම පවසා සිටියේය.
හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා ඇමතිධුරයෙන් ඉවත්ව හමුදාව බාරගන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපතිවරයා පවසා ඇති බවත්,එහි කටයුතු කැබිනට් මණ්ඩලය මගින් සිදුවනු ඇති බවත් ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා මෙහිදී කියා සිටියේය.