ඉතිහාසයේ ප්‍රථම වරට ජංගම දුරකථනවලට රහසේ සවන් දිය හැකි උපකරණයක් වත්මන් ආණ්ඩුව ඇමෙරිකාවෙන් ගෙන්වා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ එන්-ඇබ්ලේ සමාගම එහි දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා, යම් දුරකථන සමාගමක් මෙම කටයුත්තේදී ආණ්ඩුවට උදව් කළහොත් එම සමාගම හෙළිකොට ඔවුන්ගේ පාරිභෝගිකයන් පිරිස අඩුකරන බවද පවසා සිටියේය.
මීට අමතරව රජය විසින් රුපියල් මිලියන 400කට අධික මුදලක් වැයකර ෆේස්බුක් අධීක්ෂණ උපකරණයක් ලංකාවට ගෙනැවිත් තිබෙන බවත්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සී.ආර්.ඩී. හෙවත් සෙන්ටර් ෆෝ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් නමැති සමගම විසින් එම උපකරණය ක්‍රියාත්මක කරන බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“රාජපක්ෂ යුගයේ සවන් දීමේ හැකියාව තිබුණේ ස්ථාවර දුරකථනවලට පමණයි. ජංගම දුරකථනවලට සවන් දෙනවානම් එම දුරකථනයට මීටර් සියයක් ආසන්නයේ ඉඳලයි සවන් දෙන්න හැකිවුණේ. මේ උපකරණය හරහා ජංගම දුරකථනවලට සවන් දීමට නම් ජංගම දුරකථන සමාගම් තමන්ගේ ජාලයට සම්බන්ධ වෙන්න දෙන්න ඕනෑ.
එහෙම නැති නම් එන්ක්රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ජංගම දුරකථන සමාගම් විසින් ආණ්ඩුවට ලබාදෙන්න ඕන. ඒ නිසා ජංගම දුරකථන සමාගම්වල සහායකින් තොරව ආණ්ඩුවට ඔබෙත්, මගෙත් දුරකථනවලට සවන් දෙන්න බැහැ.
අපි ඔත්තුකරුවන් පිළිබඳ ඔත්තු බලමින් ඉන්නෙ. ඒ නිසයි අපි මේ තොරතුරු දන්නෙ. යම් ජංගම දුරකථන සමාගමක් මේ අශීලාචාර වැඩේට සහාය දුන්නොත් අපි ඒ සමාගම හෙළි කරනවා. ඊට පස්සේ ඒ සමාගමේ සේවය කවුරුවත් ගන්නේ නැති වේවි'' යනුවෙන් පවසා සිටියේය.