පසුගියදා සිදුවූ අමාත්‍ය මණ්ඩල වෙනස් වීමත් සමග ඒ ඒ අමාත්‍යාංශවලට පැවරුණු විෂයයන්ද වෙනස් විය. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයටද අලුතින් ආයතන තුනක් සිය විෂය පථයට එක්විය. ඒවා නම්, ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවය.
මෙම ආයතන අතරින් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධානය යොමුකර ඇති අතර, මේ සතිය තුළ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය පත්කිරීමට නියමිතය.
මෙරට සිනමාවේ අභිවෘද්ධිය ඉලක්ක කරගෙන නව නිලධාරී මණ්ඩලය පත්කරන අතර, දේශීය සිනමා කර්මාන්තය නගාසිටුවීම උදෙසා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදුකිරීමට අපේක්ෂා කරන බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම කාර්යයේදී කර්මාන්තයේ නියැළී සිටින ප්රවීණයන්ගේ අදහස් මෙන්ම යෝජනා නිරන්තරයෙන් තමන් අපේක්ෂා කරන අතර, ඒ මත පදනම්ව සිනමාවේ ප්රගමනයට අවශ්‍ය සියලු යෝජනා සකසන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව තම අමාත්‍යධුරය යටතේ දේශීය සිනමාව නගාසිටුවීම වෙනුවෙන් දැනෙන යමක් කිරීම තම අරමුණ බව පැවසූ හෙතෙම, මේ ආකාරයෙන්ම අනෙකුත් ආයතන දෙක වන රජයේ මුද්‍රණාලයේ හා මුද්‍රණ නීතිගත සංස්ථාවේද කටයුතු විධිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි දිනවල ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.