රාජ්‍ය ආයතන කටයුතුවලට අත පෙවීම සහ මාධ්‍යවලට චණ්ඩිපාට් දැමීම නිසා පසුගිය ආණ්ඩුවට ගෙදර යාමට සිදුවූ බව වර්තමාන ආණ්ඩුවේ දේශපාලඥයන් දැනගත යුතු බව වමේ කේන්ද්‍රය සඳහන් කරයි.
පසුගිය ආණ්ඩුවේ වැරදි ක්‍රියාකලාපය පරාජය කර රටට යහපාලනයක් උදාකරන බවට පොරොන්දු වූ නිසා ජනතාව විසින්ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්කළ බවත්, එහෙත් එම ආණ්ඩුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා රජයේ කටයුතුවලට අතපෙවීම් සිදු කර මාධ්‍යයට ගෙරවීමට පටන්ගෙන තිබෙන බවත් එම සංවිධානයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල පනතින් ලැබී ඇති බලතලවලට අනුව පුද්ගලයෙකු පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කර ඇතැයි වාර්තා වී තිබෙන බවත්, බලතල ලැබී තිබුණද විශ්වවිද්‍යාලය වැනි ස්වාධීන ආයතනවලට අතපෙවීමට අමාත්‍යවරයාට නොහැකි බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යයට ගෙරවීමට අමාත්‍යවරයාට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, මේ නිසා වහාම ආණ්ඩුව මේ පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.