කොරියාවේදී මියගිය තරුණයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට සැකකරන අතර, මේ පිළිබඳව තවදුරටත් කොරියානු ‘සෙචෙඔන්’ පොලිස් නිලධාරීන් විමර්ශන සිදුකරන බව විදේශ කටයුතු ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.
මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල, බද්දේගම ප්රදේශයේ පදිංචිව සිටි 2013 වසරේ සිට දකුණු කොරියාවේ සේවය කළ වික්රමසිංහ ජයසේකර ශෂේන් තාරක නැමැති තරුණයෙකි.
මෙම මස 16දා සිට පවුලේ සමාජිකයන් සමඟ කිසිදු සබඳතාවයක් නොමැති වීම හේතුවෙන් මියගිය තරුණයාගේ පියා විසින් (19දා) විදේශසේවා නියුක්ති කාර්යාංශයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබේ.
ඒ අනුව කොරියානු ‘සෙචෙඔන්’ පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණවලදී මෙම තරුණයා 16දින කොරියාවේ පැවැති අවුරුදු උත්සවයකට සහභාගීවී මත්පැන් පානය කර එරට සිටින ඔහුගේ වෙනත් ඥාති පුද්ගලයෙකුට වීඩියෝ දුරකථන පණිවිඩයක් ලබා දී ඇති බවත්, ඉන් පසු මෙම පුද්ගලයා අතුරුදහන්ව ඇති බවත් අනාවරණය වී තිබේ.
මේ අනුව එම දුරකථන සංඥා මත පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට ඔහු දුරකථන ඇමතුම ලබාගත් කඳු ප්රදේශයේදී ඔහුට අයත් ඇඳුම්, රන්මාලය, මුදල් පසුම්බිය හා දුරකථනය සොයා ගැනීමට හැකිවී ඇත.
ඉන් අනතුරුව සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදහන්වූ තරුණයාගේ මෘත ශරීරය හමුවී ඇති බවත්, එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව තම කාර්යාංශයට මේ පිළිබඳව වාර්තා වූ බවත් විදේශ කටයුතු ඇමතිනී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.