හලාවත නගරයේ ආපන ශාලාවක් තුළදී කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයෙකුට හලාවත මහාධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණරාජ මහතා ඊයේ (30දා) මරණ දඬුවම නියම කළේය.
වාලච්චේන - කරදිවෙල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකුට මෙසේ මරණ දඬුවම නියම කෙරුණි.
2005 ජූලි මස 16දා හෝ ඊට ආසන්න දිනයකදී හලාවත ප්‍රදේශයේ ආපන ශාලාවකදී ආරුමුගන් පුවේන්ද්‍රන් (23) නමැති අයට වෙඩි තබා ඔහු ඝාතනය කිරීම හා එම අවස්ථාවේ එහි රැදීසිටි තවත් පුද්ගයෙකුට තුවාල කිරීම හා නීති විරෝධී ගිනි අවියක් ළඟ තබාගැනීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තිකරු තමන් නිවැරදි කරු බව පළ කිරීමෙන් පසු සාක්කි විභාගය ආරම්භ විය.සාක්කි විභාගයෙන් අනතුරුව දඬුවම් කියම කිරීමට පෙර කිසිවක් පැවසීමට ඇත්නම් පවසන ලෙසට විනිසුරුවරයා විසින් විත්තිකරුට අවස්ථාව ලබාදුන් අවස්ථාවේ තමන් නිවැරදිකරු බව එම අවස්ථාවේදී ද ඔහු පවසා සිටියේය.
රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර හලාවත පොලීසිය වෙනුවෙන් කොස්තාපල් ජනක් කීර්ති මහතා පෙනී සිටියේය. නීතිඥ දේශප්‍රිය දිසානායක මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.
හලාවත සුපුන් හංසන