බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජින හෙට දින (21දා) ඇයගේ අනු වන වියට පා තබයි. 1929 අප්‍රේල් 21 වැනිදා වැනි දිනක ලන්ඩනයේ මේෆෙයාර් හිදී උපත ලද ඇය බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජින ලෙස පත්වුයේ 1952 පෙරබවාරි 06 වනදාය. එහෙත් ඇය මහා රැජිණිය ලෙස කිරුල පැළදියේ 1953 වසරේ ජුනි දෙවනදාය. එදා පටන් අඛණ්ඩවම බ්‍රිතාන්‍යයේ මහා රැජින ලෙස කටයුතු කරන ඇය, බ්‍රිතාන්‍ය රාජ වංශයේ දීර්ඝතම රාජ්‍ය පාලිකාව ලෙස අභිෂේක ලදහ.
අනූ වන උපන්දින සැමරුම වෙනුවෙන්ම බ්‍රිතාන්‍යයේ රාජකීය තැපැල් සේවය සුපුරුදු පරිදි දෙවන එලිසබෙත් මහා රැජිනගේද රුවද ඇතුලත්ව චාල්ස්, විලියම් හා කුඩා ජෝර්ජ් යන කුමාරවරුන්ගේ චායාරුපද සහිත විශේෂ මුද්දර කට්ටලයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. මේ වෙනුවෙන් පවත්වන විශේෂ රාජකීය උත්සවය පැවැත්වෙන්නේ වින්ඩ්සර් රජ මාලිගයේය.
උදෑසනම රජ මාලිගය අසල තිබෙන ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ විශේෂ පීටකයක් විවෘත කරන ඇය ඉන්පසුව එඩින්බරෝ ආදිපාද වරයා සමග ඇයට සුභ පැතීමට පැමිණ සිටින මහා ජනතාව හමුවීමට නියමිතයි. දහවල් 12 ට බ්‍රිතාන්‍ය රාජකීය නිල උත්සවය ආරම්භ වන්නේ යුධ හමුදා කාලතුවක්කු ආචාර වෙඩි මුර පැවැත් වීමෙනි. එම කාල තුවක්කු ආචාරය හිල්ස්බොරෝ, කාදිෆ් සහ එඩින්බරෝ යන රජ මාලිගා අසලද පැවැත් වීමට කටයුතු යොදා තිබීම විශේෂයි. මෙරට සිටින සමාජ සේවකයින්, සුභසාදන කණ්ඩායම් වල නියෝජිතයින්, ක්‍රීඩකයින්, නළු නිලි ගායක ගායිකාවන් ඇතුළු විශේෂිත පුද්ගලයින් සමග පවත්වන භෝජන සංග්‍රහ, ප්‍රිය සාද ඊට ඇතුලත්ය.
සවස් වරුවේ වින්ඩ්සර් මාලිගයේ දල්වන 90 වන සමරු උත්සවයේ විශේෂ ගිනි සිළුව මහා රැජින විසින් දැල්වීමෙන් පසුව මුළු එංගලන්තය පුරාම ප්‍රධාන ස්ථාන 260 ත් මහා බ්‍රිතාන්‍යය පුරාවටත් සෑම ප්‍රධාන නගරයකම තවත් එවැනි ගිනිසිළු හත් සියයක් පමණ දැල්වීමට නියමිතය. එම ගිනිසිළු දල්වන උත්සවයකට සහභාගී වීම සඳහා මා හටද අරාධනා පතක් ලැබී තිබීම මෙහිදී සතුටින් සඳහන් කර තබමි.
අප්‍රේල් 22 දා මහා රැජින වින්ඩ්සර් රජ මාලිගයේදී ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා මහතා මුණගැසී තවත් විශේෂ බෝජන සංග්‍රහයකට සහභාගී වීමට නියමිතයි. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහා රැජිනගේ 90 වන ජන්ම උත්සවයේ රාජ්‍ය උත්සවය ලන්ඩනයේ බකිංහම් මාලිගයේදී පැවැත් වීමට නියමිතව තිබෙන්නේ ලබන ග්‍රීෂ්ම සෘතුවෙදිය.
එයට පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල රාජ්‍ය නායකයි, ඔවුන්ගේ විශේෂ නියෝජිතයින්, අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්, වෙනත් රටවල රජ පවුල්වල සාමාජිකයින් ලොව සුපරි පුද්ගලයින්ද ඇතුළුව සුවිශේෂී ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වීමට නියමිතයි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. මැයි 12 සිට 15 දක්වා එවැනි උත්සව රාශියක් පැවැත් වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇත. තවද මහා රැජිනගේ නිල උපන්දිනය සමරන ජුනි 11 සහ ඊට පසු දිනත් බකිංහම් මාලිගය අසල රාජකීය උත්සව සිරි ගන්නා ප්‍රිය සාද රාශියක් මහජනතාව වෙනුවෙන් සූදානක් කර තිබීම මෙවර තවත් වැදගත් කරුණකි.
ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට