ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවරයන් 7ක් නිදහස්
ඉන්දීය අත්අඩංගුවේ සිටි මෙරට ධීවරයන් 7 දෙනෙකු නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහාය වෙයි.
ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන් 7දෙනෙකු ඊයේ (25දා) යළි මෙරටට බාරදුන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
මෙම ධීවරයන් පිරිස රැගත් යාත්‍රාව මාර්තු මස 06 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, මේ මස 04 වැනිදා ඉන්දීය අත්අඩංගුවට පත්විය.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ එන්.එම්.ඩී.කේ. ප්‍රනාන්දු, පී.ඩී.එම්. ප්‍රනාන්දු, පී.ඒ.පී.පී. අත්තනායක, එම්.ඒ.පී.පී අත්තනායක, ඩබ්.ඒ.එස්.එස්. තිසේරා, ඩබ්.ඒ.ඒ.එස්.එස්. කුමාර සහ ඩබ්.එස්.ආර් ප්‍රනාන්දු යන ධීවරයන්ය.
අත්අඩංගුවට පත් ධීවරයන් මුදාගැනීම පුත්තලමට ඔබ්බෙන් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදුකෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ එඩිතර II වේග ප්‍රහාරක මුර යාත්‍රාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘ආදේශ්’ නෞකාවද සහභාගි විය.
නිදහස් කෙරුණු ධීවරයන් පිරිස සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදාවේ ආරක්ෂාව මත දික්ඕවිට වරාය වෙත රැගෙන එන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
