නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වනවිට සකස් කර ඇති අතුරු වාර්තා කඩිනමින් ප්‍රකාශයට පත්කළ යුතු බවත්, ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත්කර පසුව එය පරාජයට පත්කිරීම අනුවණ බැවින් රජයට සහාය දෙමින් ගැටලුවලට විසඳුම් ලබාගත යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.හෙතෙම මේ බව පවසා සිටියේ, යාපනය, අංක එක හරස් වීදියේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"දෙමළ ජනතාවට ඇති ප්‍රධාන අභිප්‍රාය වන්නේ ජාතික ගැටලුව විසඳා ගැනීමයි. එය ඉටුකර ගැනීමට නම් මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමයි දැන් පවතින ප්‍රධාන පක්ෂ දෙක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය) එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගෙන තියෙන්නෙ. ජාතික ආණ්ඩුවට අපි සහාය දෙන්නේ නව ව්‍යවස්ථාවක් සෑදීමටයි.
අපේ ජාතික ගැටලුවට විසඳුමක් ලබාගැනීමට නව ආණ්ඩුවක් බිහිකරලා එය පරාජය කිරීමට කටයුතු කිරීම මෝඩකමක්. ඒ අනුව තමයි අපි මේ රජයට සහාය පළකරල තියෙන්නෙ. මේ රජය ඉදිරියට ගෙන යන්න ඕන. එලෙස ඉදිරියට ගියොත් තමයි අපේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවෙන්නෙ. ජනතාවට පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන ව්‍යවස්ථාවක් බිහිනොවන්නේ නම්, අපි මේ රජයට සහාය පළකරන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් තවමත් ඇතිවෙලා නැහැ.
ෆෙඩරල් ක්රමයේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි පළාතකට කිසියම් බලයක් ලබා දුන්නොත් එයට මධ්‍යම රජය සිය බලය පාවිච්චි නොකළ යුතුයි. අනිත් එක තමයි ලබාදුන් බලය පළාතේ නියෝජිතයන්ගේ අනුමැතිය නොමැතිව නැවත ලබාගත නොහැකි වීම යන කාරණායි. ෆෙඩරල් අතුරු වාර්තාවේ ෆෙඩරල් යන වචනය නොමැති වුවත් මෙම කරුණු දෙක තියෙනවානම් එය ප්‍රමාණවත්.
මේ රජය දෙමළ ජනතාවට කිසිවක් කළේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. සමහර අය කියනවා අපේ පක්ෂය දෙමළ ජනතාව අමතක කරලා රජයත් එක්ක සහායෙන් කටයුතු කරනවා කියලා. ඒක එහෙම නෙමෙයි. මේ වෙනකොට වත්මන් රජය යුද්ධය නිසා අහිමි වුණු අයගේ ඉඩම් රැසක් මුල් අයිතිකරුවන්ට ලබාදීලා තියෙනවා. ඒ වගේම අත්අඩංගුවට පත් බොහෝ පිරිසක් නිදහස් කිරීමටත් කටයුතු කරලා තියෙනවා. හැමදේම එක පාරම කරන්න බැහැ. අපි රජයත් සමග සහායෙන් හිටියොත් තමයි අපට අපේ ඉලක්ක සපුරාගන්න පුළුවන් වෙන්නෙ" යැයි පැවසීය.