ආණ්ඩුවට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
විවිධ කොමිෂන් සභා හරහා මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට එරෙහිව දැනටමත් පරීක්ෂණ සිදුකරන බැවින් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමට ඉඩ තිබෙන බවත්, කුමන බාධා පැමිණියද ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළ අත් නොහරින බවත් රණතුංග මහතා සඳහන් කළේය.
මිනුවන්ගොඩ ප්‍ර‘දේශයේ සිටින කලාකරුවන් පිරිසකට උපහාර පිදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ආණ්ඩුව විවේචනය කරන එම මන්ත්‍රීවරුන්ට විරුද්ධව පරීක්ෂණ සිදුකරනුයේ අසත්‍ය පැමිණිලි මත බවයි.
“අද පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් එක්සත් ජාතික පක්ෂයේ අය සම්මුතිවාදය යැයි කියමින් පසුගිය ආණ්ඩුව විවේචනය කරනවා. යහපාලනයට කඩේ යන අපේ අයත් පසුගිය අපේ ආණ්ඩුව විවේචනය කරනවා. ඒක විළිලැජ්ජා නැති වැඩක්. දැන් ආණ්ඩුවේ වැරදි රටට හෙළි කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අපේ කණ්ඩායම විතරයි. ආණ්ඩුව විවේචනය කරන අපේ මන්ත්‍රීවරුන් 23 දෙනෙකුට විරුද්ධව බොරු පැමිණිලි මත විවිධ පරීක්ෂණ කෙරෙනවා. අපි ඔය පරීක්ෂණවලට බය නැහැ. විවිධ කොමිෂන් හරහා මොන පරීක්ෂණ කළත්, මොන තර්ජන කළත් අපේ ගමන නතර කරන්න මේ යහපාලන ආණ්ඩුව හිතනවා නම් ඒක විහිළුවක්. සමහර විට ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් කටයුතු කරන අපි වගේ අයගේ මන්ත්‍රී ධුරවලට පවා තර්ජන එල්ල වෙන්න පුළුවන්. මන්ත්‍රී ධුර නැතිවුණත් ආණ්ඩුව ගෙදර යවලා මිසක් අපි මේ සටන නතර කරන්නේ නැහැ" යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.