කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා විසින් කොළඹ 07 බාන්ස් පෙදෙසේ අංක 17 ස්ථානයේ පිහිටි ආහාර දෙපාර්තමේන්තුවට අයත් අක්කර 1.5 ඉඩමක් පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිකිරීමට නිදහස් කර ඇතැයි බොදුබල සේනා සංවිධානය අද (10දා) සඳහන් කළේය.
එම කාර්යාලය පවත්වාගෙන යෑමට මේ වන විට ස්ථානයක් තිබියදී කොළඹ නගරයේ පිහිටි අධික වටිනාකමකින් යුතු මෙම ඉඩම නිදහස් කිරීම සම්බන්ධව සැක මතුවන බවත්, මේ සම්බන්ධව රජය පැහැදිලි කිරීමක් කළ යුතු බවත් එම සංවිධානය පවසයි.
නාවල, රාජගිරිය පාරේ පිහිටි බොදුබලසේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ මෙම ඉඩම තමා යටතට පවරන්නැයි ආහාර කොමසාරිස් විසින් සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට දන්වා තිබෙන බවයි.
අනතුරුව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලබාගෙන තිබුණු එම ඉඩම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය ඉදිකිරීමට ලබාදී ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ආහාර කොමසාරිස් ජේ.ක්‍රිෂ්ණමූර්ති මහතා විසින් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට යවන ලද ලිපිය සහ විදේශ කටයුතු අමාත්‍යාශයේ නියෝජ්‍ය සංවිධාන ප්‍රධානී විජයන්ති එදිරිසිංහ විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලද ලිපිවල පිටපත් ඉදිරිපත් කරමින් සුදත්ත හිමියෝ මෙම කරුණු අනාවරණය කළහ.