ශ්‍රී ලංකාවේ ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාඅංශය විසින් මෙම එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හඳුන්වාදීම ජුලි මස 03වැනිදා සිදු කිරිමට කටයුතු යොදා ඇත. මෙය හඳුන්වාදෙනු ලබන්නේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10 සම්පූර්ණ වූ ගැහැනු දරුවන් සඳහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙසනි.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදුරු වන බව රෝහල් සංඛ්‍යාලේඛන මගින් තහවුරු වෙයි. ලෝකය පුරා ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ මූලික ක්‍රමවේදයන් දෙකක් ක්‍රියාත්මක කරයි. ගැබ්ගෙල පිළිකා මූලික අවස්ථාවේ හඳුනාගැනීමේ පරීක්ෂණය සහ ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතුකාරක වන හියුමන් පැපිලෝමා වෛරස ආසාදන වළක්වන HPV එන්නත හඳුන්වාදීම එම ක්‍රමවේදයන් දෙක වෙයි. මෙයින් ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ ක්‍රමවේදයක් වන පැප් පරීක්ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සුවනාරි සායන මගින් අවුරුදු35 ඉක්ම වූ කාන්තාවන් සඳහා සිදු කරගැනීමට පහසුකම් සපයා ඇත.
ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත වන HPV එන්නත ජූලි මාසයේ සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුළින් ලබාදීමට නියමිතය. එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වාදීම තුළින් අනාගතයේදී ගැබ්ගෙල පිළිකාව මෙරටින් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාව බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.