අතුරුදන්වූ පුද්ගලයෙකු සොයාදීම සඳහා යැයි පවසමින් අතුරුදන්වූ පුද්ගලයාගේ ඥාතියෙකුගෙන් රුපියල් ලක්ෂ තුනහමාරක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ හලාවත බුද්ධි කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා වසර 28ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (28දා)නියම කළේය.
විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා 08න් චෝදනා හතරක්ම පැමිණිලිකාර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 05ක දඩයක්ද විත්තිකරුට නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන් මෙලෙස දඬුවම් නියම වූයේ හලාවත බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උපපොලිස් පරීක්ෂක එච්.එම්. උදය හේරත් නමැත්තාටය.
ඒ අනුව එක් චෝදනාවකට වසර 07ක් බැගින් විත්තිකරු වරදකරු වූ චෝදනා හතරට වසර 28ක සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා, මෙම සිරදඬුවම වසර 07ක කාලයකින් ගෙවී යන අන්දමට ක්රියාත්මක කරන ලෙස නියම කළේය.