පාර්ලිමේන්තුවේදී හෙට දිනයේ (05දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පත සහ ඒ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් තැබීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම පනත් කෙටුම්පතේ සිංහල සහ දෙමළ පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙනතෙක් විවාදය කල්තබන්නැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ජනාධිපතිවරයා මුණගැසී කළ සාකච්ඡාවකදී මෙම තීරණය දැනුම්දී තිබේ.
ජනාධිපති නිල නිවසේදී අද (04දා) දහවල් පැවැති මෙම සාකච්ඡාවේදී මැදගොඩ අභයතිස්ස හිමියන් කරුණු පැහැදිලි කළ අවස්ථාවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ කථානායක කරු ජයසූරිය මහතාට දුරකථනයෙන් කතාකොට පාර්ලිමේන්තු විවාදය කල්තබන්නැයි ජනාධිපතිවරයා පවසා ඇත.
අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්රඥප්ති පනත් කෙටුම්පත සම්බන්ධව විවිධ අදහස් තිබෙන නිසාත්,එහි නිවැරදිකළ යුතු කරුණු තිබෙන නිසාත් පාර්ලිමේන්තු විවාදය කල්තබන ලෙස ජනාධිපතිවරයා පවසා තිබෙන අතර,විවාදය කල්තැබිය හැකි බව කථානායකවරයා එහිදී සඳහන් කර තිබේ.